පළාත් පාලන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

පළාත් පාලන පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට

පළාත් පාලන මැතිවරණ පැවැත්වීම පිළිබඳ රජයේ කටයුතු මේ වන විට අවසන් කර තිබෙන අතර, අදාළ රෙගුලාසි සම්මත කර ගැනීම සඳහා එම පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ කසළ කළමනාකරණය සහ ඩෙංගු උවදුර මැඩලීම සඳහා පළත් පාලන ආයතනවල සැලසුම් සකස් කිරීම වෙනුවෙන් ඊයේ (17) කොළඹ පදනම් ආයතනයේ පැවති වැඩමුළුව අමතමිනි. ආණ්ඩුව මැතිවරණ නො පවත්වන බවට දේශපාලන වශයෙන් සහ මාධ්‍ය තුළ විවිධ විවේචන එල්ල වුවද සිදුව ඇත්තේ ආණ්ඩුව මැතිවරණ නොපවැත්වීම නොව, පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමට අදාළව මීට පෙර සකස් කළ පනතේ තිබූ අක‍්‍රමිකතාවය සහ අවිධිමත්භාවය හේතුවෙන් මැතිවරණ පැවැත්වීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වීම බව ද ජනාධිපතිවරයා පැවසීය.

කැළි කසළ කළමනාකරණය පිළිබඳ මෙතෙක් කිසිදු රජයකින් ස්ථීරසාර වූ විද්‍යාත්මක වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක නොවූ බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා දේශපාලන කුහකත්වයෙන් තොරව හෘද සාක්ෂියට අනුව සිතන සියලුදෙනා ඒ බව පිළිගතයුතු බවත්, මින් ඉදිරියට පත්වන කිසිදු රජයකට මුහුණදීමට සිදු නොවන අයුරින් රටේ කැළි කසළ ප‍්‍රශ්නය අවසන් කිරීමට වත්මන් රජය කටයුතු කරන බවත් ය.

සිය ආයතනික බලතල සමග තම සේවය නිසි ලෙස ඉටුකිරීමට නගාරාධිපතිවරුන් සහ පළාත් ලේකම්වරු කැප විය යුතු බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා ඇතැම් පළාත් පාලන ආයතන තවමත් මෙහෙයවන්නේ හිටපු සභාපතිවරු සහ නගරාධිපතිවරුන් විසින් බවත් එම ආයතන සතු වාහන ඇතුළු සම්පත් තවමත් ඔවුන්ගේ පෞද්ගලික සහ දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට තමන් වෙත තොරතුරු ලැබී තිබෙන බවත් ප‍්‍රකාශ කළේය.

දේශපාලන නායකත්වයේ චරිත ලක්ෂණ සහ ගුණාංග අනුව රාජ්‍ය නිලධාරින්ට හැසිරීමට සිදුවීම මේ රටේ දේශපාලන සංස්කෘතිය වුව ද අද එවන් බලපෑමක් නොමැති අතර සියලු රාජ්‍ය නිලධාරින්ට වගකීම් සහ යුතුකම් නිවැරදිව සහ විධිමත්ව ඉටුකිරීමට ඉඩ කඩ ලැබී තිබෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. පළාත් පාලන ආයතනවල ලේකම්වරුන්ගේ තනතුරු හා සේවාවන් පිළිබඳ අදාළ සියලුදෙනාගේ අදහස් සහ යෝජනා ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් ඉදිරි මාස කිහිපය තුළ සකස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad