එදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කතාවට මිනිසුන් රැවටුනා.. අන්තිමට කිසි දෙයක් නෑ..- ගැටඹේ නාහිමි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

එදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කතාවට මිනිසුන් රැවටුනා.. අන්තිමට කිසි දෙයක් නෑ..- ගැටඹේ නාහිමි

රටේ පාලකයන් තමන්ගේ සුඛ විහරණයට පමණක් කටයුතු නොකර රටේ දියුණුවත් මහජනතාවගේ දුක් වේදනාවන් ගැනත් කල්පනා කළ යුතු බව මල්වතු පාර්ශ්වයේ අනු නාහිමි දිඹුල්කුඹුරේ විමලධම්ම මහ නාහිමියෝ පැවැසූහ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 07 වැනි දින ශ්‍රී දළදා මාලිගාවට ගොස් දළදා වහන්සේ වැඳ පුදාගෙන මල්වතු මහා නාහිමි තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් සහ අස්ගිරි පාර්ශ්වයේ මහා නාහිමි වරකාගොඩ ඤාණරතන හිමියන්ද මල්වතු අස්ගිරි පාර්ශ්වවල අනු නාහිමිවරුන්ද බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය.

ඉන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනු නාහිමියෝ රාජපක්ෂ මහතා හමුවේ මෙසේද කීහ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතාව වෙනුවෙන් මහ සේවයක් සිදුකළා. රටේ තිබූ තිස් අවුරුදු යුද්ධය වෙනුවෙන් ජීවිත පරදුවට තබා කළ කැප කිරීම අගේ කරනවා. ඔබතුමාත්, සරත් ෆොන්සේකා මහතාත් බෝම්බවලට හසුවූ බව අපට අමතක වී නැහැ. යුද්ධය නතර කිරීම රටට මහත් භාග්‍යයක් සහ වාසනාවක්. එය රටේ ආර්ථිකයටත් ඉදිරි දියුණුවටත් සහනයක්. ඒවා අපට අමතක වී නැහැ.

නමුත් පාලකයන් වූ විට තමන්ගේ සුඛ විහරණයට පමණක් කටයුතු කළ යුතු නැහැ. රටේ දියුණුව මහජනතාවගේ දුක වේදනාව වගේ දේවල් ගැනත් කල්පනා කළ යුතුයි. මට දැන් දැනගන්න ලැබුණා මැති ඇමැතිවරුන්ට අලුතින් වාහන ගන්නත් ඒ අයගේ ගෙවල් ටික නවීකරණය කර ගන්නත් මුදල් ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙනවා කියලා. එහෙත් අපේ අහිංසක මිනිසුන් නාය ගිය තැන්වල තවමත් පිළිසරණයක් නැතිව කූඩාරම්වල ඉන්නවා. 


සාලාවේ බෝම්බ පිපිරීමෙන් අවතැන් වූ අය, ගංවතුරින් විනාශ වුණු අයට සහන සලසන්නේ නැතිව මේ වගේ වාහන ගන්න ගෙවල් අලුතිවැඩියා කරන්න යන එක පිළිබඳව අප කනගාටුව පළ කරනවා. අප ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලීමක් කළා ඉදිරියේදී එන අය වැයේදී ජනතාවට සහන සලසන්න කියලා. අද පොල් ගෙඩිය රුපියල් හැත්තෑ පහයි. හාල් කිලෝ එකක් රුපියල් සීයයි. වට්ටක්කා පන්සීය රුපියල් අසූවයි. ඉතිං මෙහෙම වුණාම දුප්පත් ජනතාව කොහොමද ජීවත් වෙන්නේ. සල්ලිකාරයන්ට නම් ප්‍රශ්නයක් නැහැ.

ඒ වගේම අපේ විරුද්ධ පක්ෂයේ මහින්ද මහත්තයා ඇතුළු කණ්ඩායම උද්ඝෝෂණය කරනවා. ඇත්තටම ඒ වගේ උද්ඝෝෂණ කළ යුතුයි. නැතිනම් පාලක පක්ෂයට ඕන ඕන දේ කරනවානේ. නමුත් එතැනදි මම දකින එක් ප්‍රශ්නයක් තිබෙනවා. සිතේ මවාගත් දේවල් සඳහාද වෙනත් අනිසි දේවල් සඳහා මේ අය උද්ඝෝෂණය කරනවා. දැන් අපේ ළඟම තියෙන ප්‍රශ්නය බැලුවොත් සම්මත කිරීමට යන පනතක් ගැන කියමින් උද්ඝෝෂණය කරනවා. නමුත් ඒ පනත ගැන කිසිදු ලියවිල්ලක් එළිදක්වා නැහැ. 


නැති එකක් ගැන කතා කිරීම අර බඩේ ඉන්න දරුවට කේන්දර හදනවා වගේ වැඩක්. එහෙම වෙන්න බැහැනේ. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන මහත්තයා ඊයේ මම දැක්කා එතුමාගේ පියා වන පිලිප් ගුණවර්ධන මහතා කතා කරනවා වගේ වේගවත්ව ව්‍යවස්ථාවක් ගැන කතා කරනවා. බලපුවහම එහෙම එකක් නැහැ. ඒ නිසා මේවා පිළිබඳව හොඳින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු බවද උන්වහන්සේ කීහ.

ගෝඨාභය රාජපක්ෂ මහතා ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ පැවැසූහ.

මේ රටේ තිබුණු තිස් වසරක යුද්ධය ඔබතුමාලා අවසන් කළත් දැන් ආයෙ යුද්ධයක් පටන්ගෙන තිබෙනවා. රටේ පවතින කලබල නිසා රට යළි අස්ථාවරභාවයට පත්වී තිබෙනවා. දැන් මේ රටේ ජනාධිපති කවුද නිකම් කෙනා කවුද කියා හොයන්න බැහැ. සේරම ජනාධිපතිවරු වෙන්න යනවා. දැන් ජනාධිපතිතුමාගේ වැඩ කරන්නත් වෙන මිනිස්සු ඉන්නවා. ජනාධිපතිතුමා වෛද්‍යවරුන් සමඟ කතා කර තීන්දුවක් කළ දේ ජනාධිපතිතුමාට එහෙම කරන්න පුළුවන්ද කියලා රාජිත අහනවා. අපි ඒවට විරුද්ධයි කියලාි කියනවා. ජනාධිපතිවරයෙක් ආවට ගියාට යමක් ගැන සාකච්ඡා කරවද..? 


මේ මෝඩ මිනිස්සු පොඩ්ඩක් හිතන්න එපාද ඒ ගැන. ඒ නිසා දැන් රටේ අස්ථාවර භාවයක් තියෙන්නේ. ඔබ තුමාලගේ කාලේ කොහොම හරි කරගෙන ගියා. නමුත් අන්තිමට ඔබතුමාලටත් මේවායේ වගකීමක් එනවා. වරද නම් කාගෙත් වරද. ඒවා අප පිළිගන්න වෙනවා. ඒ නිසා සමහර වෙලාවට ඔබ තුමාලටත් මේවට වගකියන්න වෙයි. කොහොම වුණත් ඔබතුමාලා කරගෙන ගිය වැඩ කොටස සම්පූර්ණයෙන්ම අවුල් කර දැම්මා. ඒ නිසා මේ මුළු රටම දැන් අවුලෙන් අවුලට ගිහින් තියෙන්නේ. ඒ නිසා මේකෙන් ගොඩඑන්න ක්‍රමයක් දැන් අප බලන්න ඕන.

ගෝඨාභය රාජපක්ෂ මහතා – ඒ වුණාට රාජපක්ෂලාට ආයෙ එන්න දෙන්නේ නෑනේ අපේ හාමුදුරුවනේ.

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් – දැන් මේ සේරම වැරැදි කරලා තියෙන්නේ රාජපක්ෂලානේ. අනෙක් අය කිසිවක් කරලා නැහැ. දැන් ආයෙමත් රාජපක්ෂලා ඕනෙ කියලා ජනතාව කියන්නේ දැන් තමයි ඒ ජනතාවගේ ඇස් ඇරිලා තියෙන්නේ. ඒකෙන්ම පේනවා මේ ජනතාව කොතරම් තාඩන පීඩනවලින්ද ඉන්නේ කියලා. එදා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කතාවටනේ මිනිසුන් රැවටුණේ. ජනතාව සිතුවා දැන් සේරම හරි ඔක්කොම කරයි කියලා. අන්තිමට පොරොන්දු වුණු දේවල් කිසිවක් නැහැ. කුණු ඇද ඇද අරයගෙන් මෙයාගෙන් පළි ගන්නවා. අරයව මෙයාව උසාවි දානවා. සංඝයා වහන්සේලා උසාවි දානවා. මේවා තමයි කළේ. එහෙම කරලා රට ගොඩගන්න බැහැනේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා –
දැන් ඊයේ පෙරේදා අර මහින්ද අමරවීර කියනවා ගෝඨාභය මාසයකින් ඇතුළට දානවා කියලා. මාව හිරේට දැම්මම සේරම ප්‍රශ්න ඉවර වේවි.

කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියන් – එතකොට ඒ අයගේ බලාපොරොත්තු සේරම ඉෂ්ට වෙනවනේ. ඒ අයට ඔබතුමාලා ගැන ලොකු අවධානයක් තිබෙනවා. අවධානයක් කියන්නේ ලොකු බයක් ඒ අයට තියෙන්නේ. රට ගොඩගන්න වැඩපිළිවෙළක් තමයි අපි ඔබතුමාලගෙන් බලපොරොත්තු වන්නේ. අද අපට නව ව්‍යවස්ථා අවශ්‍ය නැහැ. අවශ්‍ය කොටස පමණක් සංශෝධනය කිරීමට පනත් මඟින් පුළුවන්. මහා ලොකුවට වියදම් කරගෙන කමිටු පත්කරගෙන රට අවුල් කරන වැඩ කරන්නේ.

මහනුවර ගයා ශ්‍රී කාරියවසම්
– මව්බිම

No comments:

Post a Comment

Post Bottom Ad