අධික ලාභ ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් දැඩි මුල්‍ය අර්බුධයක

පසුගිය වර්ෂයට අදාළව අධික ලාභයක් පෙන්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට උග්‍ර මුදල් හිඟයකට මුහුණ පා ඇති බව වාර්තා වේ. මෙම මුදල් හිඟය හේතුවෙන් මේ වනවිට අඛණ්ඩව සති 4ක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවා හා පහසුකම් සපයන්නන්ගේ බිල්පත් ගෙවීම තාවකාලිකව අත්හිටුවා ඇතැයි ද අනාවරණය වේ.

මේ හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පහසුකම් සපයන්නන් දැඩි අසීරුතාවකට පත්ව ඇති අතර ඔවුන්ට ලැබිය යුතු මුදල් සේවාවන් ලබාදී මාසයක් ඉක්මා ගොස් තිබියදී පවා මුදල් නොලැබීම හේතුවෙන් දුෂ්කරතා රැසකට මුහුණ දී ඇතැයි හෙළි වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ පවතින මෙම මුල්‍ය හිඟය පියවා ගැනීමට රාජ්‍ය බැංකුවකින් ණයක් ඉල්ලා තිබුණද එම ණය මුදල ද මෙතෙක් ලැබී නොමැති බව වාර්තා වේ. එළඹෙන 15 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් මෙරටට ලැබීමට නියමිත මුදල් කෙරෙහි මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට්හි අවධානය යොමුව ඇති අතර එම මුදල් ලැබෙන තෙක් සේවා හා පහසුකම් සපයන්නන්ගේ මුදල් නොගෙවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීන්දුවක් ගෙන ඇතැයි ද අනාවරණය වේ. 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු පවසා සිටියේ සේවා හා පහසුකම් සපයන්නන්ගේ මුදල් නොගෙවීමට තීන්දුවක් ගෙන නොමැති බවත් ඔවුන්ගේ මුදල් ක්‍රමානුකූලව ඉදිරියේදී පියවීමට පියවර ගන්නා බවත් ය. ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත සේවා හා පහසුකම් සපයන්නන් මේ හේතුවෙන් තාවකාලිකව සිය සේවා හා පහසුකම් ලබාදීම අත්හිටුවීමේ අවදානමක් මතුව ඇති අතර ඔවුන් පෙන්වා දෙන්නේ නිසි පරිදි සිය මුදල් නොගවන්නේනම් ඉදිරියේදී සේවා හා පහසුකම් සැපයීමෙන් ඉවත්වීමට සිදුවන බවයි. 


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment