‘මගේ දුව මැරූ කෙනා ඇගේ පෙම්වතෙක් නෙමෙයි‘ කොට්ටාව තරින්දි ඝාතනය ගැන මවගෙන් විශේෂ මාධ්‍ය හමුවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

‘මගේ දුව මැරූ කෙනා ඇගේ පෙම්වතෙක් නෙමෙයි‘ කොට්ටාව තරින්දි ඝාතනය ගැන මවගෙන් විශේෂ මාධ්‍ය හමුවක්

‘මගේ දුව මැරූ කෙනා ඇගේ පෙම්වතෙක් නෙමෙයි‘
කොට්ටාව තරින්දි ඝාතනය ගැන මවගෙන් විශේෂ මාධ්‍ය හමුවක්


පසුගිය දිනවල ආන්දෝලනයක් ඇති කරමින් නිවසේදී ඝාතනයට ලක්වූ කොට්ටාවේ තරින්දි ආලෝකා (26) තරුණියගේ මව කමලා එගොඩවත්ත  ඊයේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් දන්වා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් ඝාතකයා ලබාදුන් දෝෂ සහිත පාපොච්චාරණය නිසා මියගිය දුවට අපහාසයක් වී ඇති බවත් එය නිවැරදි කිරීම අවශ්‍ය බවත්ය. හැඩූ කඳුලින් යුතුව මාධ්‍ය අමතා සියලු කරුණු හෙළි කළ ඇය කියා සිටියේ ඝාතකයා විවාහ කරදෙන්නට ඔවුනට යෝජනාවක් හෝ නොතිබුණ බවත් සියලුම මාධ්‍ය ඝාතකයා පොලිසියට දුන් කට උත්තර පදනම් කර ඔහු පෙම්වතෙකු ලෙසට දක්වා පළ කළ තොරතුරු බොහෝ ඒවා වැරදි බවයි. 


කසුන් නමින් හැඳින්වෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින තරින්දි ආලෝකා ඝාතනය කළ තරුණයා මෙම පවුලේ අයට දැනහඳුනාගන්නට ලැබී ඇත්තේ මින් කලකට ඉහතදීය. ඔහු ව්‍යාපාරිකයෙකු නොවන බවත් විදෙස් ගමන් සංවිධානය කරන ව්‍යාපාරිකයෙකුවූ ලසන්ත නමැත්තෙකු මොහුව ඔවුන්ට හඳුන්වාදුන් බවත් තරින්දිගේ මව පවසා සිටියාය. ලසන්ත සේවය කර ඇත්තේ තරින්දිගේ පවුලේ ව්‍යාපාරික ස්ථානයට යාබද ව්‍යාපාරික ස්ථානයේය.

‘ලසන්ත අපිව අවුරුදු 25 ක විතර ඉඳලා දන්නවා. එයා ඒ කඩෙන් ඉවත්වෙලා විදේශ සංචාර ආයතනයක වැඩට ගියා.ඒ කාලේ මගේ සැමියාත් ඒ ආයතනය හරහා බැංකොක් ගියා. ඒ ගමනෙදී තමයි කසුන් කියන මෙම පුද්ගලයාව අපි දැනගත්තේ. ලසන්ත හරහා මුලින්ම කසුන් අපෙන් ලක්ෂ 5 ක ණය ගනුදෙනුවකුත් කර තිබුණා. පසුව ඔහු අපේ නිවසට නිතර ආවා ගියා. ඔහු අපේ පවුලට ඉතාම සමීප අයෙකු වුණා. ඔහු අපේ රියදුරු ලෙසත් සේවය කළා.ඔහු සියලු පුද්ගලික දේ අප සමග පවසා තිබුණා. බොහෝ විට ඇසුරු කළේ මායි සැමියයි. එයාට මාතර බඳින්න කෙනෙක් හිටියා. ඉතා රූමත් ඒ පෙම්වතිය ගැනත් අපට කියලයි තිබුනේ.

මගේ මියගිය දුව තරින්දිට ඒ කාලෙටත් පෙර සිට පෙම්වතෙක් හිටියා. එම පුද්ගලයා වෙනත් ආගමක නිසා අපි කැමැත්ත දුන්නෙනෑ. ඒ නිසා එය බිඳ වැටුණා. තරින්දි පසුව මැලේසියාවේ රූපලාවන්‍ය පාඨමාලාවකට ගියා නමුත් පාඨමාලා ප්‍රශ්නයක් නිසා මාසෙකින් ආවා. ඉන් පසු එයා ජපන් යන්න ලෑස්ති වෙලා භාෂාව ඉගෙන ගත්තා. එයා හොඳට ජපන් ඉගෙන ගෙන බත්තරමුල්ලේ ඒ ආයතනයේ ජපන් ගුරුවරියක් විදිහටත් වැඩ කළා. ඉන් පසු එයාගෙ ජපන් යන අදහස වෙනස්වෙලා ඕස්ට්‍රේලියාවට යන්න කැමැත්තක් ඇතිවුණා.

ඒ නිසා අපිට එයාගේ විසා හදාගන්න වැඩ වලට කසුන්ගෙ උදව් ගන්න උවමනා වුණා. කසුන් එයාගේ ගමේ පෙම්වතිය එක්ක විවාහ වෙලා ඕස්ට්‍රේලියාවෙ යන බව කියල තිබුනෙ. එයාට ඒ රටට වීසා හදල දෙන්න පුළුවන් නිසාත් අපේ පවුලෙ හිතවතෙක් වූ නිසාත් තරින්දිගෙ රට යන වැඩේ ගැන බලන්න අපි කසුන්ට කිව්වා. ඒ නිසා කසුන් ඇවිත් වරින්වර තරින්දිව හමුවුණා. මේ අතරතුර අපිවත් දන්නෙ නැතිව එයා තරින්දිව යාළු කරගන්න උත්සාහ කරල තියෙනවා. දුව මියගිහාම තමයි අපිට සියල්ල එලිවුනේ. කසුන් මාස තුනක් තිස්සේ දුවගේ ආදරය ඉල්ලලා කරදර කරලා තියෙනවා. දුව අපිටවත් නොකියා එයාගෙ යාලුවෙක් එක්ක පොලිස් කාන්තා කාර්යාංශෙට ගිහින් පැමිණිල්ලකුත් දාලලු.


මේ ඝාතන සිද්ධියට දවස් තුනකට කලින් නුගේගොඩ අවන්හලකට කසුන්ගෙ පෙම්වතියවයි කසුන්ගේ සහෝදරයෙකුයි ඥාතියෙකුයි ගෙන්වලා ඔක්කොම ඉස්සරහා එයා කරදර කරන එක පෙන්වලා තියෙනවා. කසුන් ඒ පෙම්වතියව බඳින්න හිටියේ මේ ඝාතනයවුණ දවසේ. මේ දේවල් හෙළිකරපු නිසා කසුන්ගේ පෙම්වතිය එයා එක්ක අමනාප වුණ බව ආරංචි වුණා. ඒ නිසා මගුලත් කැඩිලා.එයා ඒකෙ පලිය ගන්න තමයි මිනීමැරුම කළේ. මිනීමැරුමට කලින් දවසේ මං හැන්දෑවේ බණ ගෙදරකට ගියා කසුන් එදා ඒක දැනගෙනම නිවසට ඇවිත් තිබුණා. පොඩි දුවයි ලොකු දුවයි තමයි ගෙදර හිටියේ. 


එයා පොඩි දුවට දොර වහගන්න කියලා ඉස්සරහ දොරින් පිටව යන බව පෙන්වලා ඇරල තිබුන පස්ස දොරින් සැලසුම් සහගතව ඇතුළුවෙලා තිබුනේ පිහියකුත් අරගෙන ගෙදර අයට නොතේරෙන්න එයා උඩට නැගලා. එයා රෑ තිස්සෙ තුන්වෙනි තට්ටුවෙ හැංගිලා ඉඳලා පහුවදා උදේ මට බැංකුවකින් කථා කරන විදිහට කෝල් එකකුත් දුන්නා. ලියකියවිලි වගයකට අත්සන් කරන්න එන්න කියලා. මාව පිටත් කරන්න ඕන වෙලා එත් මං එයා බව අඳුන ගත්ත‍ෙ නෑ. විහිලුවක් කියල හිතල ඒ ඇමතුම ගණං ගත්තෙ නෑ. දූව මරණ වෙලාවේ වෙන කවුරුත් හිටියෙ නෑ කියන මාධ්‍ය වාර්තා වැරදියි. සිද්ධිය වෙලාවෙ මං හිටියේ නිවසේමයි‍.එත් හිටියේ යට තට්ටුවේ. මට ඇහෙන්න නෙමේ ඝාතනය කරල තිබුනෙ.

කොහොම හරි එයා නිවසේ දෙවැනි තට්ටුවට ඇතුළු වෙලා දූවත් මරලා. යට තට්ටුවෙ මං ඉන්න තැනට කුස්සියට ආවේ ඒ වෙලාවෙ ගෙදරට ආපු කෙනෙක් විදිහට. මීට කලිනුත් ගාණක් නැතිව ඇවිත් පුරුදු නිසා වෙනසක් පෙනුනෙ නෑ. මගෙන් බුලත්විට නැද්ද ඇහුවා. මේසෙ උඩ බුලත්විට තිබුණ ඒවා කෑවා. මූණ හෝදගන්න බාත්රූම් එකටත් ගියා. එයාගෙ මූණ ඉදිමිලා තියනවා මම දැක්කා. මං හිතුවෙ එයා රෑ බීලා නිදාගෙන පාරේ ඉඳල ඇවිල්ල කියල. මං බැන්නා ‘පාරෙ බුදියං ඉඳල අම්ම තාත්තට ලැජ්ජ කරන්න එපා ‘ කියලා.


‘මං ඔන්න ජිප් එකත් හදල ගෙනත් දැම්මා.. මගේ ඔක්කොම වැඩ ඉවරයි..ඔන්න මං මිසිං‘ කියල ගාණක් නැතිව කියාගෙන එයා එළියට බැස්සා. දුව මැරුණ බව දන්නෙ පොඩි දුව ගෙදර ඇවිත් අක්කව හොයන කොට. මියගිය දුව යාළු කරගන්න මේ මිනිහා දඟලපු කථාවක් අපි ඝාතනය වනතුරු දන්නෙ නෑ. දන්නවනං ගෙදරට වැද්දගන්නෙවත් නෑ. එයාගෙන් වෙන හිංසාව ගැන මියගිය දුව එයාගෙ යාළුවන්ට කෝල් කරල තිබුනට අපට කිසිවක් කියා තිබුනෙ නෑ. දුව මියයන්න සතියකට පසු 28 වනදා ඕස්ට්‍රේලියාවට යන ගමන ස්ථිර වෙලා තිබුනෙ. එයා ඒකට ලෑස්ති වෙවී හිටියෙ. 


වීසා හදාගන්න වැඩේට කසුන් මගේ බැංකු ගිණුම් විස්තරත් අරන් එයාගේ වීසාත් හදාගෙන තිබුණා. මගෙන් වරින්වර ලක්ෂ 16 ක් විතර ඉල්ලගෙන ගිහින් තිබුණා. ඝාතනයෙන් පස්සෙ පොලිසිය අපෙන් කටඋත්තර වරක් ලබාගත්තට පස්සෙ ආයිත් කිසිවක් විමසුවේ නෑ.ඒ අතරේ පොලිසියට භාරවුණ කසුන් විවිධ කතා ගොතල මගේ දුවට අපහාස වෙන විදිහට නොමග යවන කතාත් කියලා තිබුණා. එයා දුවගේ ෆොන් එකේ තිබුණ දෙයක් ගන්න නම් හිටියේ මරපු තැන වැටිල තිබුණ ෆෝන් එක එහෙමම තියෙද්දි යන්නෙ නෑනෙ.

එයා කෝටිපතියෙක් නෙමෙයි.එයා කෝටිපතියෙක් වෙන්න හදල තියෙන්නෙ අපෙන්.අතේ පිච්චියක් නැතිව අපෙන් පෝසත් වෙන්න හැදුවා. දුව එයාට බල්ල කියල බණින වාර අනන්ත මට ඇසී තිබෙනවා. එයා මාස තුනක් තිස්සෙ දූගෙ ආදරේ ඉල්ලල දැඩි ලෙස කරදර කරලා තිබුණලු. කාන්තා කාර්යංශෙට ගිහින් පැමිණිලි දාන්න තරම් දුවට ඒ දේ දරාගන්න අමාරු වෙලා.දුව යාළුවන්නට විතරක් ඒවා කිව්වෙ ඇයිදැයි දන්නෑ.අපි මේ කිසිවක් දැන සිටියෙ නෑ‘

වාර්තාව - අයිරංගි එදිරිසිංහ

No comments:

Post a Comment

Post Bottom Ad