ඛනිජ තෙල් සංස්ථා අඛණ්ඩ වැඩවර්ජනය සිකුරාදා දක්වා අත්හිටුවේ… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

ඛනිජ තෙල් සංස්ථා අඛණ්ඩ වැඩවර්ජනය සිකුරාදා දක්වා අත්හිටුවේ…

අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා අවසන් තීරණයකට එළැඹීම ලබන සිකුරාදා (14) දක්වා අත්හිටුවීමට ඛනිජ තෙල් සම්පත් වෘත්තීය සමිති එකමුතුව තීරණය කරයි. ඛනිජ තෙල් සම්පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ පැවැති සාකච්ඡාවකින් පසුව එම තීරණය ප්‍රකාශයට පත් කෙරිණ.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය සමාගමකට පැවරීම ප්‍රමුඛව තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දෙන බවට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දුන් ලිඛිත පොරොන්දුව මෙතෙක් ඉටු නොකිරීමට එරෙහිව අඛණ්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක් නියම කිරීමට ඛනිජතෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ තීරණය කර තිබුණි.

කෙසේනමුත් අද පැවැති සාකච්ඡාවේදී අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කියා සිටියේ ‘ඔබතුමාලා ලබා දුන් ලේඛන මම ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් භාර දුන්නා. එතුමාලගෙන් මම ඉල්ලා සිටියා සාකච්ඡාව සඳහා ඉක්මනින්ම මේ සුමානය ඇතුළත වෙලාවක් ලබා දෙන ලෙසට. එහිදී එතුමාලා ඩෙංගු ප්‍රශ්නය සහ වෙනත් ප්‍රශ්න නිසා සතියක කාලයක් ලබා දෙන්නැයි මට පැවසුවා. ඒ අනුව සාකච්ඡාවක් සඳහා වෙලාවක් ලබා දීමට සතියක් ලබා දෙන්නැයි මම ඉල්ලා සිටිනවා. 


සිකුරාදාට පෙර ඒ වෙලාව ලබා දීමටද මම උත්සාහ කරනවා. මොකද ජනාධිපතිතුමායි අගමැතිතුමායි දෙන්නාම සමඟ මේ සාකච්ඡාව කිරීම වැදගත් වෙනවා. මගේ තීරණය නොවෙන්න පුළුවන් රජයේ තීරණය. මට දැනට තියෙන ප්‍රධාන ප්‍රශ්නය ඔබතුමාලගේ ප්‍රශ්නය. මමත් පෞද්ගලීකරණයට එතරම් කැමති නැහැ. නමුත් ආයෝජකයෙක් ඇවිත් අපිට වාසි වන විදියට රටේ සංවර්ධනයක් කරන්න පුළුවන්නම් අපේ පැත්තත් බලලා ඒකට එකඟ වෙන්න කැමැති කෙනෙක්. 

ඒ නිසා මේ ඉල්ලීම තමයි පළමුවෙන්ම ඔබතුමාලගෙන් ඉල්ලා සිටින්නේ’ යනුවෙනි. එකී ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූ වෘත්තීය සමිති එකමුතුව පැවසුවේ ඉදිරි සතිය තුළදී අපේක්ෂිත සාකච්ඡාව ලබෙනු ඇතැයි යන විශ්වාසය මත අඛණ්ඩ වැඩවර්ජනය සඳහා දිනයක් නියම කිරීම මෙලෙස අත්හිටුවන බවයි. ‘අපි ගෙනියන මේ ව්‍යාපාරයේ කිසිම පෞද්ගලික ඉල්ලීමක් නැහැ. පඩි වැඩි කර ගැනීම වැනි කිසිම දෙයක් නැහැ. රට පැත්තෙන් හිතලා කරන ඉල්ලීමක් තියෙන්නේ. අපි දීපු වාර්තාවෙත් තියෙන්නේ සම්පූර්ණයෙන්ම රටට බලපාන කාරණා. 

එය අවබෝධ කරගෙන කටයුතු කිරිම ගැන අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් අනෙක් පැත්තෙන් අපිට පොඩි සැකයක් තියෙනවා, රජය අපි නොමඟ යවනවද ? අපිව කඩේ අරිනවද කියලා. මොකද පස්වැනි මාසයේ 26වැනිදා අපිට සාකච්ඡාවක් ලබා දෙන බවට එකඟ වුණේ. දැන් මාසයක් විතර ගිහින්. ඒ වගේම අවබෝධතාව අනුව රජය පැත්තෙන් මේ මාසේ අන්තිම වෙන කොට ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ අවසන් තීරණයකට යන්න ඕන. එතොකොට කල් ගන්නේ ඒ සඳහාද කියන සැකය ඕන කෙනකුට මතු වෙනවා. 

ඒ නිසා අපිට අවසන් තීන්දුවකට යන්න සිද්ධ වෙනවා. නමුත් ඇමතිතුමා සද්භාවයෙන් කරන ඉල්ලීමට අපි එකඟ වෙනවා. ඒ එකඟ වීම අනිවාර්යෙන්ම ලබන සිකුරාදායින් පස්සේ අවසන් වනවා.මොකද අපිට පැහැදිලිම සැකයක් මතුවනවා එතැනින් එහාට යනවා නම් අපිව නොසලකා හැරලා අපිව රවට්ටනවද කියලා. රට වෙනුවෙන් රැවටෙන්න අපි සූදානම් නැහැ. ඉදිරි ක්‍රියාමාර්ගවලට යන්න සිද්ධ වෙනවා.’ යැයිද ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා මහතා පැවසීය.

ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසුවේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් එක්ව තීරණයක් ගැනීම වඩාත් වැදගත් වන බවයි. එවිට රජයේ ස්ථාවරය නිවැරදිව ප්‍රකාශ කළ හැකි බවය. “ආණ්ඩුවේ වැරදි දෙයක් වුණොත් මම ඒකට එකඟ වෙන කෙනෙක් නෙමෙයි. ඒක මගේ දේශපාලන ක්‍රමවේදය. ඇත්තටම මම සතුටු වනවා, අනෙකුත් වෘත්තීය සමිති වගේ පෞද්ගලික ඉල්ලීම් ඔබතුමාලා සිදු කර නැහැ. 


රටේ සම්පත් ආරක්ෂා කර ගන්නා ක්‍රමවේදයක් ඔබතුමාලා ඉල්ලා සිටින්නේ. මමත් ඔබතුමාලාගේ වාර්තාව ඉතා සැලකිල්ලෙන් කියෙව්වා. එහි සමහර දේවල්වලට මම එකඟ වෙනවා. නමුත් සමහර දේවල් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තියෙනවා. ඒ සඳහා හොඳම දෙය තමයි ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් සමඟ සාකච්ඡා කරලා තීරණයකට පැමිණීම……” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

– තමීර මංජු

No comments:

Post a Comment

Post Bottom Ad