ලබන මාසයේ සිට ජනපති සෑම අමාත්‍යාංශයකම ප‍්‍රගතිය විමසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

ලබන මාසයේ සිට ජනපති සෑම අමාත්‍යාංශයකම ප‍්‍රගතිය විමසයි

රජයේ ඉදිරි වසර කිහිපය තුළ සමස්ත රාජ්‍ය සේවකයින් සංවර්ධනයේ නියමුවන් බවට පත්වෙමින් එහි නියාමනයට උරදිය යුතු බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (12) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ජනාධිපති කාර්යාලයේ කාර්ය මණ්ඩලය අමතමිනි.

ලක්ෂ 14 ක සමස්ත රාජ්‍ය සේවයට ආදර්ශයක් වෙමින් නව මුහුණුවරකින් සහ නව වැඩපිළිවෙළක් ඔස්සේ කාර්යක්ෂමව සහ සැලසුම්සහගත අයුරින් ජනාධිපති කාර්යාලයේ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ වැදගත්කම ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. 

රාජ්‍ය නිලධාරින්ට මගපෙන්වීම තිබෙන්නේ රාජ්‍යය කරන්නා වූ දේශපාලන නායකත්වයේ මෙහෙයවීම, කළමනාකරණය සහ පරිපාලනයේ සාර්ථකත්වය මත බව පැවසූ ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ කිසිවෙකුට තමා චෝදනා නොකරන අතර යම් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ නම් ඊට වගකිවයුත්තේ දේශපාලන අධිකාරිය බව ද කියා සිටියේය.

ලබන මාසයේ සිට තමන් සෑම අමාත්‍යාංශයකම ප‍්‍රගති සමාලෝචන රැස්වීම් සඳහා සහභාගීවන අතර එහි පසුවිපරම් කටයුතු ජනාධිපති කාර්යාලය හරහා සිදුවන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. වංචාවක්, දූෂණයක්, අක‍්‍රමිකතාවයක් කොතනකදී හෝ සිදු නොවිය යුතු අතර විනිවිදභාවයෙන් සහ පිරිසිදුව සිය කටයුතු කරගෙන යාමට සියලු කාර්ය මණ්ඩල කැපවිය යුතු බව ජනාධිපතිවරයා කියා සිටියේය.

රාජ්‍ය නිලධාරින්ගේ කැපවීම, දක්ෂතාවය සහ මානුෂීය ගුණාංග මැනවින් පිළිබිඹු කළ අවස්ථාවන් ලෙස පසුගිය කාලය තුළ මුහුණදීමට සිදුවූ ස්වාභාවික ආපදා තත්ත්වයන් හමුවේ ගෙන ගිය සහන වැඩපිළිවෙළ හඳුන්වාදිය හැකි බව සඳහන් කළ ජනාධිපතිවරයා එහිදී සමස්ත රාජ්‍ය සේවයම සිදුකළ කැපවීම වෙනුවෙන් සිය කෘතඥතාවය පිරිනැමීය.

No comments:

Post a Comment

Post Bottom Ad