අස්විය යුත්තේ නායකයා පමණද? එතකොට අනික් ලොක්කෝ? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

අස්විය යුත්තේ නායකයා පමණද? එතකොට අනික් ලොක්කෝ?

නායකයා වෙනස් වූ පමණින් ජයග‍්‍රහණය කළ හැකිද? යන ප‍්‍රශ්නය ශ්‍රී ලංකා ක‍්‍රිකට් බලධාරීන්ට පසුගිය බදාදා යොමු කළද එයට පිළිතුරක් නොලැබුණි. ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ඇද වැටී තිබෙන තත්ත්වය නායකයා පිටින් යවා ක‍්‍රිකට් ලොක්කන්ට, තේරීම් කමිටුවට සහ ක‍්‍රීඩා අමාත්‍යවරයාට වගකීමෙන් ගැලවිය නොහැක.

සිම්බාබ්වේ හමුවේ ලැබූ පරාජය සම්බන්ධයෙන් ලැජ්ජාවට හෝ කළකිරීමට පත්ව ඉල්ලා අස්වීමට ඇන්ජලෝ මැතිව්ස්ට කොන්දක් තිබීම පිළිබඳව ගරුකළ යුතුය. ක‍්‍රිකට් ලොක්කන් තේරීම්වලට බලපෑම් කරන බව කළින්ම පැවසුවේ අප නොව තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියමය. දිනේෂ් චන්දිමාල් ටෙස්ට් නායකයා සහ උපුල් තරංග එක්දින සහ විස්සයි20 නායකයා ලෙස පත්කිරීමත් සමඟ ශ්‍රී ලංකා පිල ගොඩගත හැකියැයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මිත්‍යාවකි.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිල ගොඩගැනීමට නම් දේශපාලකයන් සහ ක‍්‍රිකට් ලොක්කන් ඇඟිලි නොගසන තේරීම් ප‍්‍රතිපත්තියක් තිබිය යුතුය. එවැනි පරිසරයක් නිර්මාණය කිරීමට තේරීම් කමිටුවට කොන්දක් තිබීමද අවශ්‍යය. සිම්බාබ්වේ සංචාරයේ පරාජයන් පිළිබඳව බොහෝ දෙනා අතර සැකයක්ද මතු වී තිබුණි. සැකය කුමක්දැයි ක‍්‍රීඩා ලෝලීන්ට අමුතුවෙන් කියයුතු නැත. සූරියවැවදී පැවැති සිවුවැනි තරගයට ජ්‍යෙෂ්ඨ වේගපන්දු යවන්නා වන නුවන් කුලසේකර සහ ළහිරු කුමාර සිටියදී අසිත ප‍්‍රනාන්දු වැනි ආධුනිකයකු ක‍්‍රීඩා කළේ කුමන හේතුවක් මතද යන්න කිසිවකු නිවැරදිව ප‍්‍රකාශ කර නොමැත.

නුවන් කුලසේකර, ළහිරු කුමාර, තිසර පෙරේරා සහ විකුම් සංජය එක්දින තරගාවලිය වෙනුවෙන් කොළඹදී සුදු පන්දුවෙන් පුහුණුවීම් කරමින් සිටියහ. එම ක‍්‍රීඩකයන් සිවුදෙනාම පැත්තකට විසිකර රතු පන්දුවෙන් පුහුණුවීම් කළ අසිත ප‍්‍රනාන්දු තරගයට ක‍්‍රීඩා කිරීම ක‍්‍රීඩකයන් ද විශ්මයට පත්කළ බව වාර්තා වේ. කණ්ඩායම් දෙකම පෙර තරග තුනම ජයගත්තේ හඹා ගොසිනි. එසේ ජය ලබා තිබියදී සූරියවැවදී සිවුවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ලැබූ මැතිව්ස් පන්දුවට පහර දීම තෝරා ගත්තේය. 


කෙසේ වෙතත් සිම්බාබ්වේ පිල ඉනිම ආරම්භයේ සිටම වේගයෙන් ලකුණු රැස්කරමින් ජයග‍්‍රහණයට පසුබිම සකස් කරගැනීමෙන් ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සුන්විය. මැතිව්ස් පරාජයෙන් පසුව පෙරදින වැස්සේ දැයි මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටීමද ගැටලුවකි. එම තරගයේදී ලකුණු 209 ක ආරම්භක සම්බන්ධතාවක් ලැබී තිබියදී කුසල් මෙන්ඩිස් හයවැනි ස්ථානයට තල්ලු කරමින් ඇන්ජලෝ මැතිව්ස් අංක තුන ස්ථානයේ පන්දුවට පහර දුන් අතර ඒ හේතුවෙන් ලකුණු 340 ක් පමණ රැස්කිරීමට තිබූ අවස්ථාව මඟ හැරී ගියේය.

පස්වැනි තරගයට දඟ කැවෙන තණතීරුවක් සකස් කර තිබුණද ශ්‍රී ලංකාව ක්‍රීඩා කළේ වේගපන්දු යවන්නන් තිදෙනකු සහ එක දඟපන්දු යවන්නකුගෙනි. මේ පිළිබඳව කථා කිරීමට කිසිවක් නැත. එහිදී අකිල ධනංජයට සහයට පා දඟ පන්දු යවන්නකු හිටියේ නම් ශ්‍රී ලංකාවට ලකුණු 203 ආරක්‍ෂා කර ගැනීමටද හැකියාව තිබූ බව ඉතාම පැහැදිලිය. පා දඟ පන්දු යවන මාලින්ද පුෂ්පකුමාර එක්දින සංචිතයත් සමඟ කොළඹ පුහුණුවීම් කරමින් සිටි අතර ඔහු කැඳවා තරගයට සහභාගි කරවූයේ නම් ඇතැම් විට ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය උද්ගත නොවීමට ද ඉඩ තිබුණි.

ඇන්ජලෝ මැතිව්ස්ට පෙර අස්විය යුතුව තිබුණේ මෙම ඔලමොට්ටල තීරණ ගත් නිලධාරීන්ය. නමුත් එවැනි දෙයක් සිදුවී නොමැත. ක‍්‍රිකට් ලොක්කන් තම හිතවතුන්ගේ ක‍්‍රීඩා සමාජවල ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබා දීමට ජාතික කණ්ඩායම පරදුවට තැබීම කනගාටුවට කරුණකි. අසිත ප‍්‍රනාන්දුගේ සංප‍්‍රාප්තිය ද එවැනි එකක් බවට ද කථා පැතිර ගියේය. කලිසම් ගැලවිය යුත්තේ කවර අදින සේවකයන්ගේ නොවේ යැයි ක‍්‍රිකට් ලෝලීන් පවසන්නේ නිකම්ම නොවේ.

(පුවත්පතකින් උපුටගැනිමකි)

No comments:

Post a Comment

Post Bottom Ad