මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් තාක්ෂණික ගැහිල්ලකට සැරසේ ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

මුදල් අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් තාක්ෂණික ගැහිල්ලකට සැරසේ !

මුදල් අමාත්‍යාංශයේ ඊ මේල් සහ ඒ ආශ්‍රිත සබඳතා පහසුකර ගැනීම සඳහා මිල දී ගෙන ඇති microsoft exchange මෘදුකාංගය වෙනුවට එය microsoft office 365 බවට උත්ශ්‍රේණිකර ගැනීම සඳහා දියත්කර ඇති ව්‍යාපෘතිය තුළ බරපතළ මූල්‍ය වංචාවක් සහ නාස්තියක් වීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට ඇමරිකානු ඩොලර් මිලියන තුනකට අධික මුදලක් වැයවන මෙම ව්‍යාපෘතිය සඳහා කිසිදු ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීමේ සූදානමක් නැති අතර මේ වන විට මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්. හරිස්චන්ද්‍ර මහතා අදාළ ව්‍යාපෘතිය වසර තුනක කොන්ත්‍රාත්තුවක් ලෙස Microsoft ආයතනයට ලබා දීමට මැදිහත්ව කටයුතු කරයි.

එහි දී අදාළ ව්‍යාපෘතිය වසර තුනක කොන්ත්‍රාත්තුවක් ලෙස ලබා දීමට සූදානම් කෙරෙමින් ඇති බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන කොරියාවෙන් ලබාගන්නා ණයක් හරහා යෙදවීමට නියමිත බවත් වාර්තා වෙයි. වැඩිදුරටත් වාර්තා වී ඇති ආකාරයට මුදල් අමාත්‍යාංශයේ මේ වන විට ස්ථාපිත කර ඇති microsoft exchange මෘදුකාංගය 2014 වසරේ කොරියානු ණය මුදලක් හරහා ලබා ගෙන ඇති නමුත් මේ දක්වා එයින් අපේක්ෂිත ප්‍රයෝජන ලබා ගෙන නොමැත.

ආණ්ඩුවට තවත් කළු පැල්ලමක් :

ඒ අනුව ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ මේ වන විටත් නිසි ප්‍රයෝජන ගැනීමට අසමත් ව්‍යාපෘතියක් තවදුරටත් මහජන මුදල් අවභාවිත වන ආකාරයෙන් ටෙන්ඩර් කැඳවීමකින් පවා තොරව microsoft office 365 බවට උත්ශ්‍රේණිකර ගැනීම සඳහා දියත්කර ඇති මෙම ව්‍යාපෘතිය මුළු මනින්ම සැකසහිත සහ ආණ්ඩුවට තවත් කළු පැල්ලමක් ඇති කිරීමේ ගනුදෙනුවක් වීමේ අවදානමක් මතුව ඇති බවය.

අදාළ කටයුත්ත ටෙන්ඩර් කැඳවීමක් මඟින් සිදු කළහොත් දැනට ඇස්තමේන්තු කර ඇති මුදලට වඩා අඩුවෙන් කිරීමේ හැකියාවක් ඇති බවත් ද වාර්තා වෙයි. මේ පිළිබඳව අප මුදල් අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්. හරිස්චන්ද්‍ර මහතා වෙතින් විමසූ අවස්ථාවේ ඔහු සඳහන් කර සිටියේ අදාළ ව්‍යාපෘතිය සඳහා තමන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවත් එහෙයින් ඒ සම්බන්ධව කතා කරන්නට දෙයක් ද නොමැති බවත්ය.

(කාශ්‍යප කොතලාවල)

No comments:

Post a Comment

Post Bottom Ad