ගෝඨා අත්අඩංගුවට ගන්නා කතාව : ''නාමල්ගේ කුමන්ත්‍රණයක්'' - මහින්ද - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ගෝඨා අත්අඩංගුවට ගන්නා කතාව : ''නාමල්ගේ කුමන්ත්‍රණයක්'' - මහින්ද

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මාසයක් ඇතුලතදී අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බවට සිදුකෙරෙන ප්‍රකාශ, රාජපක්ෂවරුන්ගේම කුමන්ත්‍රණයක් බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මාසයක් ඇතුළත තමන් අත්අඩංගුවට ගන්නා බවට සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් මෑතකදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසක් හමුවේ ප්‍රකාශයක් සිදුකර ඇති බවට ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (07) මහනුවරදී මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කල ප්‍රකාශය පිළිබඳව 'ශ්‍රී ලංකා මිරර්' කල විමසීමකදී ඇමතිවරයා එබව සඳහන් කළේය. ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු පැහැදිලි කල අමාත්‍ය අමරවීර මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ගැන තමා කිසිවකුට කිසිම ආකාරයේ ප්‍රකාශයක් කර නැතැයි අවධාරණය කර සිටියේය.
ඒකාබද්ධ මන්ත්‍රීට එරෙහිව නඩු මගට :
කෙසේවුවද පෙරේදා (06) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා පැවසුයේ, මාසයක් ඇතුලතදී ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගන්නා බව මහින්ද අමරවීර අමාත්‍යවරයා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසකට පවසා ඇති බවයි. එම ප්‍රකාශය පිළිබඳව 'ශ්‍රී ලංකා මිරර්' වෙත අදහස් දැක්වූ අමරවීර අමාත්‍යවරයා, එය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් බවත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයට එරෙහිව නඩු පැවරීමට දැනටමත් නීතිඥයින් මාර්ගයෙන් කටයුතු කර ඇතැයි කියා සිටියේය.
මහින්ද අයියාට කව්දෝ කියපු කතාවක් ....
ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ මහනුවරදී ඇමතිවරයා සම්බන්ධයෙන් කල ප්‍රකාශය පිළිබඳව, ඇමතිවරයා අද දින ඔහුගෙන් කරුණු විමසා තිබේ. එවැනි කතාවක් කිසිවකු විසින් මහින්ද රාජපක්ෂ මහතාට දැනුම්දී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ඇමතිවරයාට පවසා ඇත. මේ අතර, ''2020 ජනපති වීමට සිහින දකින රාජපක්ෂවරයෙක් ඉතා නුදුරේදිම අත්අඩංගුවට ගැනිමට නියමිත බව ධිවර අමාත්‍ය මහින්ද අමරවීර පෙරේදා (06) හම්බන්තොට කොටවාය ප්‍රදේශ පැවති ජනහමුවක් අමතමින් පවසා ඇතැයි'' විමල් විරවංශ මන්ත්‍රීවරයාගේ 'ලංකා සි නිවුස්' වෙබ් අඩවියේ සඳහන් පුවත මුළුමනින්ම ප්‍රතික්ෂේප කල අමාත්‍යවරයා, එදින තාම මුළු දවසම සිටියේ කොළඹ බව කියා සිටියේය.
ගෝඨා අගමැති කිරීමේ කපුකම ?
කෙසේවුවද ඉතා විශ්වාසවන්ත දේශපාලන ආරංචිමාර්ග වලින් වාර්තා වන්නේ, ජනාධිපතිවරයා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පසුගිය කාලයේ රහස් සාකච්ජා වට කිහිපයක් සංවිධානය කිරීමට අමාත්‍ය මහින්ද අමරවීර මහතා කටයුතු කිරීම නිසා නාමල් රාජපක්ෂ මහතා, අමරවීර අමාත්‍යවරයා සමග දැඩි අමනාපයකින් පසුවන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනයට ගෙන ඒමට 'වියත් මග' කල්ලිය දරන උත්සාහය ව්‍යර්ථ කිරීමට බැසිල් රාජපක්ෂ මහතා මෙන්ම නාමල් රාජපක්ෂ මහතා ද පෙරමුණගෙන සිටිති. කෙසේවුවද ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු නොපවරන්නැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද උදැසන අමාත්‍යය මහින්ද අමරවීර මහතා ගෙන් ඉල්ලිමක් කර ඇතයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ.

ශ්‍රී ලංකා මිරර්

No comments:

Post a Comment

Post Bottom Ad