ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම සාර්ථකයි - තරුණයාගේ හදවත කාන්තාවකට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ශ්‍රි ලංකා ඉතිහාසයේ ප්‍රථම හදවත් බද්ධ සැත්කම සාර්ථකයි - තරුණයාගේ හදවත කාන්තාවකට

ශ්‍රී ලංකාවෙි ප්‍රථම හදවත් බද්ධ සැත්කම අතිශය සාර්ථක වූ බව  සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මහනුවර මහ රෝහලේ දී පසුගිය සිකුරාදා (07) සැත්කම සිදු කර ඇත්තේ අනුරාධපුරයේ පදිංචි වයස අවුරුදු 34ක කාන්තාවකටයි.

මොළය මිය ගිය 24 හැවිරිදි තරුණයෙකුගේ හදවතක් ඇයට බද්ධ කළ බව   මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසනවා. ඉවත් කෙරුණු ඇයගේ  හදවත  සියයට 12ක් පමණ අකර්මණ්‍ය වී තිබූ බවයි සැත්කමේ වෛද්‍ය කණ්ඩායම දක්වා ඇත්තේ. තරුණයාගේ වකුගඩු දෙක ද තවත් වකුගඩු රෝගීන් දෙදෙනෙකුට බද්ධ කර තිබෙනවා.

හදවත් බද්ධයකට භාජනය වූ කාන්තාව සහ වකුගඩු බද්ධයට භාජනය වූ රෝගීන් දෙදෙනා මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔවුන් සුවයෙන් පසුවන බවත්, ශල්‍යකර්මයට සහභාගි වූ වෛද්‍යවරුන් ද දැඩි පරික්ෂාවෙන් සිටින බව ද රෝහල් අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කරනවා. මෙම ශල්‍යකර්මය සදහා මහනුවර මහ රෝහල, පේරාදෙනිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහා රෝහල,වැලිසර ළය රෝහල සහ බොරැල්ල ළමා රෝහලේ  විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් එක්ව සිටි බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

හෘද රෝග, නිර්වින්දන, අවයව බද්ධ කිරීම, උරස් හෘද ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු ඊට ඇතුළත්. මෙම වෛද්‍යවරුන්ගේ සේවය  අගය කළ සෞඛ්‍ය අමාත්‍යවරයා,  වෛද්‍ය කණ්ඩායම හමුවීම සදහා  ලබන 13 බ්‍රහස්පතින්දා මහනුවර මහ රෝහලට යාමට නියමිතයි. මෙම ශල්‍යකර්මයට සහභාගි වූ වෛද්‍යවරුන් අගය කිරීමේ  වැඩපිළිවෙලක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට දැනුම් දී තිබෙනවා.

No comments:

Post a Comment

Post Bottom Ad