රාජ්‍ය බැංකු දෙකක බිලියන ගණනක් පාඩු ලබන ශ්‍රී ලන්කන් වෙත පොම්ප කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

රාජ්‍ය බැංකු දෙකක බිලියන ගණනක් පාඩු ලබන ශ්‍රී ලන්කන් වෙත පොම්ප කරයි

ශ්‍රී ලන්කන් මෙහෙයුම් පවත්වා ගැනීම සඳහා සහන ලිපි භාවිතා කර මහජන බැංකුවෙන් සහ ලංකා බැංකුවෙන් මුදල් ලබාගැනීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා උත්සාහ කරමින් සිටින බව රජයේ ආරංචි මාර්ග පවසයි.

පසුගිය වසරේ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලන්කන් පවත්වාගෙන යාම සඳහා කෙටි කාලීන ණය පහසුකම් ඉහත බැංකුවලින්ම ලබාගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන තිබිණි. එසේ ලබාගත් ණය මුදල, ලංකා බැංකුවෙන් රුපියල් බිලියන 12.9 ක් සහ මහජන බැංකුවෙන් රුපියල් බිලියන 13.35 ක් විය. මෙම ණය මුදල් ලබා ගෙන ඇත්තේ 2016 දෙසැම්බර් මස 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බව සඳහන් වූ සහන ලිපි මාර්ගයෙන්ය. 

පසුව අමාත්‍යවරයාම මැදිහත්ව 2016 දෙසැම්බර් මස 20 වැනිදා එම කාලසීමාව තවත් දීර්ඝ කළේය. මහා පරිමාණ වැටුප් ගෙවීම් සඳහා මෙන්ම මෙහෙයුම් පිරිවැය සපුරා ගැනීම සඳහා මෙම මුදල් යොදවා ගැනීමට නියමිත වී තිබිණි. රාජ්‍ය - පෞද්ගලික සම්බන්ධතාවයක් ඇතිකරගන්නා තෙක් ශ්‍රී ලන්කන් පවත්වාගෙන යෑම සඳහා මුදල් යෙදවීමට සිදුවන බව එවක මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතා පැවසී ය.

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් වන ක්‍රමෝපායික සම්බන්ධතාවයක් සදහා පාර්ශවකරුවකු සොයාගැනීමේ කටයුතුවල රජය නියැළී සිටින හෙයින් එම කටයුතු අවසන් වන තෙක් ගුවන් සේවය පවත්වාගෙන යෑම සඳහා ආධාර අවශ්‍ය වන අතර ඒ අනුව ඉහත සදහන් කැරුණු සහන ලිපි, එම අගයන් යටතේම, 2017 ජූලි මස 1 වැනිදා සිට වසරක කාලයක් දක්වා බලපැවැත්වෙන ලෙස නිකුත් කරන ඉල්ලා ඇත.

ඉන් පැහැදිලි වන්නේ ලබන වසරේ ජූලි මාසය වන තෙක් මෙම රාජ්‍ය බැංකු ද්විත්වය ශ්‍රී ලන්කන් පවත්වාගෙන යෑම සඳහා තවත් රුපියල් බිලියන ගණනක් පොම්ප කරනු ඇති බවය. පසුගිය වසරේ ශ්‍රී ලන්කන් සදහා පාර්ශවකරුවකු සොයාගත නොහැකි විය. මෙම වසරේ ද, පාර්ශවකරුවකු සොයා ගැනීම හෝ නොගැනීම කෙසේවෙතත්, මෙම යෙදවෙන මුදලේ බර පැටවෙන්නේ රටේ ජනතාව මතටය. රජය හමුවේ ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නා වැනි තත්ත්වයකි. ආගාධයට යමින් පවතින රටේ ආර්ථිකයේ ගමන මෑත සමයේ ආපදා තත්ත්වය හමුවේ තවත් වේගවත්ව ඇත. 

අලාභ ලබන ශ්‍රී ලන්කන් වැනි ආයතනවලට මුදල් පොම්ප කරන අතරම, පුනරුත්ථාපන කටයුතු සඳහා මුදල් උපයා ගැනීමට දානපති සමුළු පැවැත්වීමට රජය යොමුව තිබේ. මේ සඳහා කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාවට සහ අන්තර්ජාතික සංවිධානවලට ආරාධනා කිරීමට නියමිතය. ස්වභාවික විපත් නිසා රටට සිදුව ඇති හානිය පිළිබඳව ඔවුන් දැනුම්වත් කිරීමටත්, ආධාර ලබාදෙන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටීමටත්, රජය අපේක්ෂාවෙන් සිටී. රටේ බදු ගෙවන ජනතාවගේ රුපියල් බිලියන ගණනක මුදලක් ගරා වැටෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගොඩනැගීම සදහා මාස 12ක වාරික යටතේ ගෙවීමට නියම වීම කොතරම් දුරට සාධාරණ දැයි සිතා බැලිය යුතුය.

(සන්ඩේ ටයිම්ස්)

No comments:

Post a Comment

Post Bottom Ad