නි. ඇමැති දුලිප් රජයට භාරදුන් ප්‍රාඩෝ රියේ අවිආයුධ ‌ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

නි. ඇමැති දුලිප් රජයට භාරදුන් ප්‍රාඩෝ රියේ අවිආයුධ ‌

නියෝජ්‍ය ඇමැති දුලිප් විඡේසේකර මහතා විසින් භාවිත කළ ප්‍රාඩෝ ජීප් රථයේ තිබී පිස්‌තෝලයක්‌ සහ දුම්බෝම්බයක්‌ හමුවී තිබේ. 

මේ සම්බන්ධයෙන් ජාතික පුවත්පතකට අදහස් දක්වමින් තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු ඇමැති එම්. එච්. අබ්දුල් හලීම් මහතා සඳහන් කර ඇත්තේ තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති දුලිප් විඡේසේකර මහතා විසින් භාවිත කර යළි රජයට භාරදුන් ප්‍රාඩෝ ජීප් රථයක තිබී ඉතාලියේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්‌තෝලයක්‌ සහ දුම්බෝම්බයක්‌ හමුවී ඇති බවයි.

නියෝජ්‍ය ඇමැතිවරයාට රජයෙන් අලුත් වාහනයක්‌ දීමෙන් පසුව ඔහු තමාට දී තිබූ වාහනවලින් එකක්‌ යළි රජයට භාරදී තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා තැපැල් සේවා අමාත්‍යාංශය විසින් පසුව එම රථය මුදල් අමාත්‍යාංශය වෙත භාරදුන් බව කියා සිටියේය. එහිදී වාහනය පරීක්‍ෂා කිරීමේදී කැබි හෝල් එකේ තිබී මෙම පිස්‌තෝලය සහ දුම් බෝම්බයක්‌ හමුවී තිබේ. නියෝජ්‍ය ඇමැතිවරයා මෙම වාහනය තැපැල් අමාත්‍යාංශයට භාරදීමෙන් පසුව වාහනය අලුත්වැඩියාවට පෞද්ගලික ආයතනයක්‌ වෙත යවා ඇති අතර මුදල් අමාත්‍යාංශය වෙත වාහනය භාරදී ඇත්තේ ඉන් පසුවය.

අමාත්‍යාංශය වෙත වාහනය බාරදෙන විට කැබ්හෝල් එකේ යතුර බාරදී නැතැයි ද වාහනය භාරගත් අමාත්‍යාංශ නිලධාරියා ද එහිදී තම රාජකාරිය ඉටුකර නැතැයි ද අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසීය. මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය විසින් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර ඇති අතර අමාත්‍යාංශ මට්‌ටමින් ද වෙනමම පරීක්‍ෂණයක්‌ සිදුකරයි. මේ පිළිබඳව අදහස් දක්වමින් තැපැල් හා මුස්‌ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය ඇමැති දුලිප් විඡේසේකර මහතා පැවසුවේ මෙම චෝදනාව තමන් දැඩි ලෙස ප්‍රතික්‍ෂේප කරන බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad