‘රතු පාටින් ඉඳගෙන කඩේ යාම’ - විමල් අලුත් කතාවක් කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

‘රතු පාටින් ඉඳගෙන කඩේ යාම’ - විමල් අලුත් කතාවක් කියයි

එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘මහ නාහිමිවරු කුමක් කීවද රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු’ කියා පවසන තරමට වෙනස් වී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ පැවසුවේ ඊයේ(06) මාතලේ හෝටල් පාසල් ශ්‍රවණාගාරයේදී පැවැති සම්මන්ත්‍රණ මාලාවේ තුන්වැන්න අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය. “පාර්ලිමේන්තුවේදී බොහොම සන්සුන්ව ජවිපෙ මන්ත්‍රී බිමල් රත්නායක අගමැතිවරයාගෙන් අහනවා ‘පළාත් පාලන ඡන්දය පවත්වා එම ආයතනය බලාත්මක කරන තුරු ජනාධිපතිතුමා සහ ඔබතුමා එකතු වෙලා යම්කිසි බලාධිකාරියක් හදලා මේ කුණු ප්‍රශ්නය විසඳිය යුතුයි නේද? කියා. 

හරි නම් ජවිපෙ අගමැතිගෙන් අහන්න ඕනෙ ‘කුණු ප්‍රශ්නය ඇති වුණේ, පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කරලා පළාත් පාලන ඡන්දය කල් දාපු නිසයි. ඒ නිසා වහාම ඡන්දය පවත්වනු’ කියලයි. ඉස්සර ජනතා විමුක්ති පෙරමුණ ඇහුවේ එහෙමයි. නමුත් දැන් ඔවුන් හිතන්නේ විෂය භාර ඇමතිවරුන්ගේ අතේ තිබෙන කුණු ප්‍රශ්නයට, අගමැති සහ ජනාධිපති අත ගැහුවොත් වැඬේ හරි කියලයි. මේ තමයි ජවිපෙ වත්මන් නායකත්වය ඇද වැටී ඇති තැන.

පසුගියදා පැවැති ජවිපෙ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මේ රත්නායක මන්ත්‍රිතුමාගෙන් අහනවා ‘ත්‍රෛනිකායික මහනාහිමිවරුන් මේ අවස්ථාවේ සිදු කළ ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව ජවිපෙ ස්ථාවරය කුමක්ද?’ කියා. එහිදී බිමල් රත්නායක තෙමේ පිළිතුරු දෙනවා ‘මහා නායක ස්වාමීන්වහන්සේලාට එහෙම මතයත් දරන්න අයිතිය තිබෙනවා. එහෙම වුණා කියලා ඒක අනිවාර්යෙන්ම බාරගත යුතු නැහැ. ආණ්ඩුවට ජනවරමක් තිබෙනවා, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්න. 

ආණ්ඩුව ඒ ජනවරම අනුව කටයුතු කළ යුතුයි’ කියා. මේ තමයි අද රතු පාටින් ඉඳගෙන අලියාට කඬේ යන හැටි. ත්‍රෛනිකායික මහනාහිමිවරුන්ගේ නිවේදනය නිකම් නිවේදනයක් නොවෙයි. එය සංඝ ආඥාවක්. මේ රටේ ඓතිහාසික සම්ප්‍රදාය පිළිබඳ ‘අ’ යන්න, ‘ආ’ යන්න දන්නවා නම් කවදාවත් මේ විදියට ‘එම මතය පිළිගත යුතු නැත. කියා කියන්න යන්නේ නැහැ. එදා ‘රට බෙදන ව්‍යවස්ථාව ගෙන නොඑනු!’ කියූ ජවිපෙ අද ‘නැත, නැත මහා නායක හිමිවරු කෙසේ කීවද රනිලුනි, රට බෙදන ව්‍යවස්ථාව ගෙන එනු! කියලයි කියන්නේ.“ යැයිද විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad