ඇසළ පුන් පොහොය අදයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

ඇසළ පුන් පොහොය අදයි

බෝසත් චරිතයේ මෙන් ම බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට(08) යෙදී තිබේ. භික්ෂූන් වහන්සේ වස් විසීම ආරම්භ කිරීම හේතුවෙන් මෙම පොහොය දිනය ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායන්ට ඉතාමත් වැදගත් දිනයකි. වෙසතුරු ආත්ම භාවයෙන් පසු තුසිත දෙව්ලොව උපත ලැබූ බෝසතුන් මහාමායා දේවියගේ කුස පිළිසිඳ ගත්තේ ද අද වැනි උතුම් දිනකදී ය.

සිදුහත් කුමරු සතර පෙර නිමිති දැක ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කළේ ද අද වැනි දිනක බවට බෞද්ධ ඉතිහාසයේ සඳහන් ය. තමා අවබෝධ කරගත් පරම සත්‍ය ලෝක සත්ත්වයා වෙත දේශනා කර ඔවුන් සසරින් මුදවා ගැනීමේ අරමුණින් බුදුරාජාණන් වහන්සේ සිය මංගල ධර්ම දේශනය වන දම්සක් පැවතුම් සුත්‍ර දේශනාව පැවැත්වූවේ ද අද වැනි ඇසල පුර පසළොස්වක පොහොය දිනකදී ය.

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් තෙමසක් ඉක්ම ගිය විට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රධාන 500ක් පමණ වූ මහරහතන් වහන්සේගේ සහභාගිත්වයෙන් යුතුව අජාසත් රජුගේ දායකත්වය ඇතිව ප්‍රථම ධර්ම සංගායනාව සිදු කරනු ලද්දේ ද ඇසළ පුරපොහෝ දිනයේය. එමෙන්ම බුද්ධ වර්ෂ 236 දී මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන මහා සංඝයා වහන්සේ විසින් සම්මත කරන ලද සීමාව තුළ ප්‍රථම ඛණ්ඩ සීමාව සම්මත කරන ලද්දේ ද ඇසළ පොහෝ දිනයකදීය. 


එම වර්ෂයේම ප්‍රථම සිංහල බෞද්ධ භික්‍ෂුව වශයෙන් මහණ උපසම්පදාව ලැබූ අරිට්ඨ කුමරුන් ප්‍රධාන සිංහල කුමාරවරුන් 56 දෙනාගේ මහණ උපසම්පදාව සිදුවී ඇත්තේ ද ඇසළ පුර පොහෝ දිනයකය. එමෙන්ම දෙවනපෑතිස් රජතුමා විසින් ඛණ්ඨක චෛත්‍යය වටා ඉදිකරවන ලද අටසැට ලෙන් පූජාව සහ මහරහතන් වහන්සේ සැටදෙනමක් ප්‍රථම වරට ලක් පොළොවෙහි වස් එළැඹීම සිදුවී ඇත්තේ ද ඇසළ පුන් පොහෝ දිනයකදී බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

බුද්ධ වර්ෂ 382 දී දුටුගැමුණු මහරජතුමා විසින් රුවන්මැලි මහා සෑ රදුන් ඉදිකරවීම සඳහා මුල්ගල තබන ලද්දේ ද ඇසළ පොහෝ දිනයකදී බව සඳහන් වේ. එසේම විවිධ ප්‍රාතිහාර්යයන් මැද එම මහාසෑයෙහි සර්වඥ ධාතු නිධානය සිදුකරන ලද්දේ ද ඇසළ පුර පොහෝ දිනයකදී බව ඉතිහාසය මඟින් අනාවරණය කරනු ලැබේ. බුද්ධ වර්ෂ 847 දී කිත්සිරිමෙවන් රජ සමයෙහි හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් වඩමවන ලද දන්තධාතුන් වහන්සේ වෙනුවෙන් සිදුකෙරෙන දළදා පෙරහර ආරම්භ කරන ලද්දේ ද ඇසළ පුර පොහෝ දිනයක බව අපේ ඉතිහාසයේ දැක්වේ.

මෙසේ ශාසනික වශයෙන් මෙන්ම ඓතිහාසික වශයෙන් ද ඉතා වැදගත් දිනයක් වන ඇසළ පුර පොහෝ දිනය වඩාත් අර්ථවත් දිනයක් බවට පත්කර ගැනීම සඳහා කැපවී ක්‍රියා කළ මනා බව සිහිපත් කළ යුතුව ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad