ඇමති චම්පිකට තවත් බලයත් පවරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 22, 2017

ඇමති චම්පිකට තවත් බලයත් පවරයි

ඇමති චම්පිකට තවත් බලයත් පවරයි
පසුගිය බදාදා රැස්වූ කැබිනට් අනුකාරක කමිටුව විසින් කොළඹ නගරයේ කැලි කසළ විධිමත්ව හා කාර්යක්‍ෂමව ඉවත් කිරීම හේතුවෙන් කොළඹ නගර ආශ‍්‍රිතව පවතින අපවිත‍්‍ර ඇලමාර්ග පවිත‍්‍ර කිරීමේ බලයත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පවරා ඇත. 

ඒ අනුව එම පවිත‍්‍රකිරීමේ කටයුතු අදාල සියලූ ආයතන සමග සම්බන්ධ වී හෙට දින (22) සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව ඇමති චම්පික රණවක මහතා පවසයි. එසේම, පසුගිය ජූලි 05 වැනිදා සිට කොළඹ නගරයේ කැලි කසළ කළමනාකරණය පිළිබඳ වගකීම ඇමති පාඨලී චම්පික රණවක මහතාට භාර කිරීමෙන් පසු අඛණ්ඩ මෙහෙයුමක්, අධීක්‍ෂණයක් සහ ප‍්‍රගති සමාලෝචනයක් සිදු කෙරිණි. 

2017 ජූලි 20 වන විට මහමගට නීති විරෝධී අන්දමින් කැලි කසළ බැහැර කරන්නන් 754 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සතියේ සෑම දිනකම රාත‍්‍රී 7.00 ට කොළඹ මහා නගර සභා ශාලාවේදී දෛනික සමාලෝචනය සිදුකරන අතර ඒ සඳහා කොළඹ, මොරටුව, කෝට්ටේ, දෙහිවල-ගල්කිස්ස, කැළණිය හා කඩුවෙල නාගරික කොමසාරිස්වරු ඇතුලූ අදාල නගර සභා බල ප‍්‍රදේශයන්හි පොලිස් ස්ථානාධිපතිවරු, ඉංජිනේරුවන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු සහ කැලි කසළ එක්රැස් කරන ආයතන වන අබාන්ස් හා කෙයා ක්ලීනින් යන ආයතන වල නිලධාරීන් ද මෙම සාකච්ඡාවට එක්වේ.

උදෑසන 4.00-6.00 අතර කාලයේ කොළඹ නගරයේ අලංකරණය කිරීමේ හමුදා ඒකකය විසින් ඒ ඒ අදාල ප‍්‍රදේශවල කැලි කසල එක්රැස්වන ප‍්‍රදේශ හා කැලි කසල ගොඩ වේ යැයි අවධානමක් සහිත ප‍්‍රදේශ ඡායාරූප ගත කෙරේ. ඉන් අනතුරුව නැවත සවස 3.00ත් 5.00 ත් අතර කාලයේදී එම නිලධාරීන්ම ඡායාරූප ගත කරයි. එම කාලය තුළ පරිසර පොලිස් කණ්ඩායම් සහ නගර සභා හා පෞද්ගලික කැලි කසළ එකතු කරන කණ්ඩායම් තමන්ට පැවරී ඇති රාජකාරී ඉටුකර ඇත්ද නැද්ද යන්න එදිනම රාත‍්‍රීයේ පැවැත්වෙන විමර්ශනය කිරීම අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් සිදු කෙරේ.

ලබාගෙන ඇති සියලූම ඡායාරූප සංසන්දනාත්මක වශයෙන් එම්.එම්.එස්. ආශ‍්‍රයෙන් අදාල නිලධාරීන්ට යොමු කරන අතර, ඒ අනුව කැලි කසළ එකතු කිරීම හා අදාල රාජකාරී මෙහෙයුම් සිදු කෙරේ. දිනපතා පැවැත්වෙන රාත‍්‍රී 7.00 ප‍්‍රගති විශ්ලේෂණයේදී ඒ ඒ කාරණා සම්බන්ධයෙන් අධීක්‍ෂණය කෙරෙන අතර කැලි කසළ එකතු කිරීම සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන නිසි වගකීම ඉටුකර නොමැති නම් ඊට දඩ මුදලක්ද නියම කෙරේ.

කොළඹ නගරය ආශ‍්‍රිතව පමණක් ආරම්භ කළ කැලි කසළ විසඳීමේ මෙහෙයුම අද වන විට කෝට්ටේ, කඩුවෙල, කැළණිය, දෙහිවල-ගල්කිස්ස, මොරටුව යන නාගරික බල ප‍්‍රදේශයන්හි ක‍්‍රියාත්මක කිරීමට ද කටයුතු කර ඇත. දෛනික විමර්ෂණයක් සහිතව අඛණ්ඩව කරගෙන යෑමට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පියවර ගෙන ඇත. මේ වන විට කොළඹ නගරයේ දෛනිකව ගොඩගැසෙන කසළ පමණක් ඇති අතර අඛණ්ඩව ගොඩගැසී තිබූ කසළ මේ වන විට සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට ද පියවර ගෙන තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad