‘මුං කවුද බං..’… කැච් එක අතහැරිය නිසා මාලිංග සීකුට දාපු පාට් එකක් ගැන දිවයින හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

‘මුං කවුද බං..’… කැච් එක අතහැරිය නිසා මාලිංග සීකුට දාපු පාට් එකක් ගැන දිවයින හෙළිකරයි

ජුනි 02වැනි දින දිවයින පුවත්පතේ පළවු ලිපියකි..

දැන් ක්‍රිකට්‌වල ප්‍රධාන මාතෘකාව කට සහ බඩ ගැනයි. ඔය අතරේ සිම්බාබ්වේ පිලද ශ්‍රී ලංකාව සමග තරගාවලියකට සහභාගි වෙමින් සිටියි. කෙසේ වෙතත් ක්‍රිකට්‌වලට මේ බඩ සහ කට දෙකම නොගැලපෙන බව නම් සැබෑය. නමුත් මේ බඩත් කටත් දෙකම තවමත් එලෙසම පවතින බැවින් ප්‍රේක්‍ෂකයන්ට දැන් ක්‍රිකට්‌ ෆන්’ එකට වඩා එහා ගිය ‘ආතල්’ එකක්‌ මේ හේතුවෙන් ඇතිවී තිබේ.


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම ශ්‍රේණිගත කිරීම්වල පහළටම තල්ලුවී සිටීම සහ පන්දු රැකීම නන්නත්තාර වීමෙන් මේ බඩ සහ කට පිළිබඳව ප්‍රශ්නය කරළියට පැමිණියේය. ලසිත් මාලිංගලා මෙරට ක්‍රිකට්‌ වෙනුවෙන් කළ කී දෑ මහ මෙරකි. එබැවින් ඔවුන් දැන් කවුරුත් කියන පදයට නටන්නට හෝ මෙල්ල වන්නට නම් කැමැති නැති බවනම් පැහැදිලිය. නමුත් එය මහත්මා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ගුණාංගයක්‌ නොවන නමුත් ලසිත් මාලිංග පවසන්නේ ක්‍රිකට්‌ ගහන්නේ මහත්වරුන් නොවන බවයි. මේ ප්‍රශ්නයට පෙර දවසක මාලිංග මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, “කොහෙද මහත්වරු ක්‍රිකට්‌ ගහන්නෙ. 


මට පෙන්වන්න. එහෙනම් ටයි කෝට්‌ දාගෙන පිට්‌ටනියෙ ක්‍රිකට්‌ ගහන්න එපැයැ’ යනුවෙනි. නමුත් එම මාධ්‍යවේදියා මාලිංගට ක්‍රිකට්‌ මහත්වරුන් පෙන්වන්නට එවෙලේ උත්සහ නොකළේය. දයාසිරි ජයසේකර ක්‍රීඩා ඇමැතිවරයා ලෙස ඇත්ත කතා කිරීමට ගොස්‌ නාගත්තාද? නැතිනම් ඇමතිවරයා ලෙස ඔහු ලකුණු දා ගැනීමට ගොස්‌ හිර වුණාද යන්නත් දැන් මාතෘකාවට බඳුන්වී තිබේ. ක්‍රීඩා ඇමැතිවරයා විදිහට ඔහු ක්‍රීඩකයන්ගේ බඩ සහ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව ප්‍රසිද්ධියේ කළ ප්‍රකාශයේ කිසිදු වරදක්‌ අපි නොදකිමු. 

එයට හේතුව පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ගේ ආබාධය ලැයිස්‌තුව, පන්දු රැකීම, ශාරීරික යෝග්‍යතාව සහ තරග පරාජය වීමට ආදී කරුණු අනූව ඇමැතිවරයකු කොන්ද කෙළින් තියා මෙවැනි ප්‍රකාශ කළ යුතුය. නමුත් ඇමැතිට වඩා මාලිංග ලෝකයේ ජනප්‍රිය බැවින් ඇමැතිද ඒ ප්‍රකාශයෙන් පසුව තිගැස්‌සී සිටින්නට ඇත. මොකද ඇමැතිවරයාට වඩා ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ප්‍රේක්‍ෂකයා ආදරය කරන බැවිනි.

පසුගියදා පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා පවසා සිටියේ මාලිංග මෙන්ම සුසන්තිකා සමගත් පෞද්ගලික ප්‍රශ්නයක්‌ නැති බවයි. මාලිංගව සිම්බාබ්වේ සංචාරයෙන් දොට්‌ට දැමීමට තිබුණද ක්‍රීඩකයන්ව ක්‍රීඩා පිටියෙන් ඈත් කර තැබීමට තමා කැමැති නැති බැවින් එලෙස නොකළ බවද ඇමැති එහිදී පැවසීය. 


ඇමැති අතේ ස්‌විච් එක තිබෙන නිසා ඔහුට ඕනෑම දෙයක්‌ කරන්නට පුලුවන. නමුත් දක්‍ෂතාවයෙන් සහ මිල මුදලින් සන්නද්ධව සිටින මාලිංගට ශ්‍රී ලංකා කණ්‌ඩායමෙන් එළියට විසි වුවහොත් ඔහු මුම්බායි ක්‍රීඩා කරනු ලබයි. නැතිනම් වෙනත් තරගාවලියකට ක්‍රීඩා කරනු ලබයි. එබැවින් දඬුවම ලිහිල් කරමින් මාලිංගට පොඩි පාට්‌ එකක්‌ දැමීමට ක්‍රිකට්‌ ලොක්‌කන් තීරණය කර තිබේ. 

නමුත් මාලිංග පවසන්නේ තමාව එළියට දැම්මොත් බෑග් එකත් අරගෙන ගෙදර යන බවයි. මේ ප්‍රශ්නය උඩුදුවන අතරවාරයේ මාලිංග ගාල්ලේදී පුහුණු සැසියකට පැමිණියේය. එහිදී මාලිංගව ඡායාරූප ගත කිරීමට ගිය මාධ්‍යවේදීන්ට අපුරු වදනක්‌ ඔහු පවසා තිබේ. “දැන් බෝඩ් එකෙන් මගේ බඩ ෆොටෝ ගන්න කට්‌ටියව එවලා.’ යනුවෙන් පැවසූ මාලිංග නිකමට වගේ ටී ෂර්ටය උස්‌සා බඩ පෙන්වීය. ඒ බඩ බැලු බැල්මට එදා සිටි මාලිංගගේ බඩට වඩා ලොකුවී ඇතැයි ඕනෑම අයියා කෙනෙකුට වැටහේ. 

නමුත් මාලිංග කට පරිස්‌සම් කර නොගෙන උසුලු විසුලු කරමින් තමාගේ ගමන යන බවක්‌ පෙනේ. ඒ අනූව මාලිංගට දැන් නැතිවන්නට දෙයක්‌ නැත. ඔහු දැන් ‘ඩිමාන්ඩ්’ කරන්නේ ඔහුගේ පසුගිය දක්‍ෂතාවයි. නමුත් ඇමැති පෙන්වා දෙන්නේ වත්මන් අදක්‍ෂතාවයි. මාලිංග කඩුලු ගත්තාට ක්‍රීඩාංගණයේදී හරියට පන්දු රකින් නැතිනම් ‘මැච් එක ලොස්‌’ බව දන්නෝ දනිති. ලසිත් මාලිංග දැන් ක්‍රීඩා කරන්නේ ඔහුගේ අවසන් කාලයයි. ඔහුට එක්‌දින කඩුලු තුන්සිය ගැනීමට අවශ්‍යව ඇත්තේ තවත් කඩුලු හයක්‌ පමණි. ඒ ඉලක්‌කයෙන් පසුව මාලිංග තවදුරටත් මේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවට දායකත්වය සපයයිද යන්න දන්නේ ඔහුම පමණි. 

නමුත් ඉකුත් එංගලන්ත සංචාරයෙන් පසුව මාලිංග පවසා සිටියේ ක්‍රිකට්‌ තේරීම් කමිටුව සහ සභාපතිවරයා තමාව කණ්‌ඩායමට දැම්මොත් 2019 ලෝක කුසලාන වන තෙක්‌ ක්‍රීඩා කරන බවයි. චැම්පියන්ස්‌ කුසලාන එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේදී පකිස්‌තානය සමග පැවැති තීරණාත්මක තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට තිබූ අවස්‌ථාව තිසර පෙරේරා සහ සීක්‌කුගේ ප්‍රසන්න උඩපන්දු අතහැරීමෙන් අහිමි විය. එතැන් සිට ශ්‍රී ලංකා කණ්‌ඩායමේ පෙර වැරදි සියල්ල මතුවීම දයාසිරි මෙන්ම මාලිංග අතරද වාග් ප්‍රහාරය ආරම්භ වීමේ ප්‍රධාන සන්ධිස්‌ථානය විය.

‘මුං කවුද බං..’ යෑයි මාලිංග එදා සීක්‌කුගේ උඩපන්දුව අතහැරීමෙන් පසු නායකයාගෙන් විමසා සිටි බව එතැන සිටි ඡායාරූප මාධ්‍යවේදීන්ට හොඳින් ඇසී තිබේ. එසේ කෝපයෙන් සිටි මාලිංග ශ්‍රී ලංකාවට පැමිණ කීවේ හතර බීරි කතාවකි. උඩපන්දු කාටත් අතහැරෙනවා. කැච් අතහැරුණ පලියට මැච් පරදින්නේ නෑ’ යනුවෙනි. ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා කීවේ, ‘කැච් අතහැරල තමයි මැච් පරදින්නෙ. බඩ තියෙනව අත දාලා කැච් අල්ලන්න බැහැ.’ මේ ගින්න ක්‍රීඩා මාධ්‍යයට අපූරු ඝට්‌ටණයක්‌ වුවද මෙහි සත්‍යතාව ප්‍රේක්‍ෂකායට මෙම සටහන ඔස්‌සේ කදිමට වැටහෙන්නට අපි ඉඩ හරිමු.

2011 ලෝක කුසලාන තරගාවලියේදී නුවන් කුලසේකර අතින් ගිලිහුණු උඩපන්දුවක්‌ හේතුවෙන් ශ්‍රී ලංකාවට පරාජය වැළඳ ගැනීමට සිදුවූ බව එම තරගය නැරඹූ බහුතරය විශ්වාස කළේය. 2014 වසරේ කොල්කටා ඊඩ්න් ගාර්ඩ් ක්‍රීඩාංගණයේදී රෝහිත් ෂර්මා ශ්‍රී ලංකාවට රිදෙන්නට පහරදී ලෝක වාර්තාවක්‌ පිහිටවනු ලැබීය. ඒ පන්දු 173 කදී ලකුණු 264 කි. එය අදටත් බිඳ දැමීමට නොහැකිව ඇති වාර්තාවකි. මෙම වාර්තාව කරා යන්නට ෂර්මාට වර්ම් ලැබුණේ ඔහු ලකුණු 4 ක්‌ ලබා සිටියදී ෂමින්ද එරංගගේ පන්දුවකට තිසර පෙරේරා අතට දුන් උඩපන්දුව අතහැරුණු නිසාය. 


නමුත් එදා තිසර අතහැරුපු උඩපන්දුව මෙතරම් දුර දිග නොගියේය. ඒ කාලයේ ශ්‍රී ලංකාව මෙතරම් පරාජයන් ගොඩකට තල්ලු වී නොසිටි නිසා එසේ වන්නට පුලුවන. මහේල සහ සංගක්‌කාර කණ්‌ඩායමේ සිටි නිසා එසේ වන්නට තිබුණි. නමුත් මාලිංග මෙදා කට වරද්දා ගත්තේ ඇත්ත ඇති සැටියෙන් කියනවාට වඩා ඇමැති ලේබලයට ගල් ගැසීමට මෙන් වාග් ප්‍රහාර එල්ල කිරීමට ගොසිනි. නමුත් මාලිංගට දැන් මාධ්‍යද වැඩක්‌ නැත. ඇමැතිලාද වැඩක්‌ නැත. 

ඔහුට ලංකාවේ ක්‍රිකට්‌ද දැන් සෙල්ලමකි. එබැවින් රටේ ක්‍රිකට්‌ සෙල්ලමට ශක්‌තිමත් පදනමක්‌ දැමිය යුතු කාලයක්‌ දැන් එළැඹ තිබේ. කීකරු ක්‍රිකට්‌ ගෝලයන් අවශ්‍ය යෑයි ඇබෑර්තු ගැසිය නොහැක. එය පියවරෙන් පියවර ඔප දැමිය යුතු කර්තව්‍යකි. එබැවින්ම දක්‍ෂතාව අතරද තරගයක්‌ තිබිය යුතුය. ‘ලොකු ලේබල’ අලවා ගත් ක්‍රිකට්‌ ක්‍රීඩකයන්ට ගමන කෙටිය. නමුත් සංගක්‌කාරලා සහ මහේලලාද ප්‍රශ්නවලට මුහුණ දුන් ක්‍රීඩකයෝය. ඔවුන් ඔලුව පාවිච්චි කරමින් එම ප්‍රශ්න විසඳා ගත්තේය. 

අරවින්ද, අර්ජුන, රොෂාන් සහ හෂාන් වැන්නෝද ප්‍රශ්නවලට මුහුණ දුන්හ. මුරලිලා මෙන්ම වාස්‌ලාටද ප්‍රශ්න තිබුණේය. ප්‍රශ්න එන්නේ වැඩකාරයන්ටය. එබැවින් ඔවුන්ට ඉන් ගැලවීමටද ඔලුවක්‌ද තිබිය යුතුය. ක්‍රිකට්‌ සෙල්ලම ලෝකය වටා එබිකම් කර බැලුවහොත් ප්‍රශ්න එලෝ කෝටියකි. නමුත් ඒ සියල්ලටම වඩා රටේ ක්‍රිකට්‌ වටින්නේය. නමුත් මේ සියල්ලටම වඩා මාලිංග වෙනස්‌ය. ඒ හරියට ඔහුගේ පන්දු යෑවීමේ ඉරියව්වේ ඇති වෙනස මෙනි.

No comments:

Post a Comment

Post Bottom Ad