සංගාත් කොලේ ඉරාගනී වගේ.. 2011 ලෝක කුසලානයේ සිදුවූ දේ ගැන අර්ජුන කියයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

සංගාත් කොලේ ඉරාගනී වගේ.. 2011 ලෝක කුසලානයේ සිදුවූ දේ ගැන අර්ජුන කියයි..

2009 වසරේ පාකිස්ථානයේ ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ගැන විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි තමන්ද ඉල්ලා සිටින බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. එමෙන්ම 2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේදී සිදු වූයේ කුමක්ද යන්න සොයා බැලීම සඳහා විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයිද ඔහු ඉල්ලා සිටී.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසන්නේ සුදු පිරුවටින් වැසී සිටින ක්‍රීඩකයින්ගේ අභ්‍යන්තරය ගැන තමන් හොඳින් දන්නා බවයි. අද (13) උදෑසන පුවත්පත් මාධ්‍යවේදීන් පිරිසක් හමුවෙමින් ඔහු මේබව කියා සිටියේය. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ පැවැති එම හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් පැවසුවේ 2009 වර්ෂයේ පාකිස්ථාන සංචාරය සිදු කරන අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස කටයුතු කළේ එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්ව සිටි එස්. ලියනගම මහතා බවයි.

“දැන් ඔය සංගක්කාර මහත්තයා කියනවා නම් පරීක්ෂණයක් පවත්වන්න කියලා පරීක්ෂණයක් පවත්වන්න. මමත් කියන්නේ පරීක්ෂණයක් පවත්වන්න. ඒ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියා ලෙස සිටියේ ලියනගම. ඊට මාස කිහිපයකට පෙර මම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති. අපි ආසියානු තරගාලිය පකිස්ථානයේ පැවැත්වුවේ. එය ඉතාමත් හොඳට තිබුණා. ඊට පස්සේ අයි. පී. එල්. තරගාවලියට යන්න ඕන කියලා චාලි ඔස්ටින්ගේ කණ්ඩායම ඇවිත් මට කිව්වා. එතැනදී මම කිව්වේ රට පාවලා දීලා එයට මට අත්සන් කරන්න බැහැ කියලා. ඊට පස්සේ ගාමිණී ලොකුගේ හිටපු ක්‍රීඩා ඇමැතිවරයා මාව ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් අයින් කළා. 


ඊට පස්සේ තමයි පකිස්ථාන සංචාරය තිබ්බේ. එහිදී තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අනතුරට පත් වුණේ. මං හිතන්නේ ඒ ගැන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නමුත් අමතක කරන්න එපා, ඔය පාකිස්ථානයට ගිය ක්‍රීඩකයෝ ඊට පෙර ඒ රටේ පැවැති ආසියානු කුසලානයට ගියා. ඒ ගොල්ලෝ දැක්කා මම ඉන්න කාලේ කොච්චර ආරක්ෂාවක් තිබුණද කියලා. මම වෙනම පුද්ගලයෙක්ව යැව්වා ඒ ආරක්ෂාව බලන්න. ඊළඟට මම තවත් දෙයක් කියනවා. ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලිය යනකොට ඕනතරම් බෝම්බ යනවා. එතැනදී අපේ එක ක්‍රීඩකයෙක්වත් කියලා තියෙනවද බෝම්බ යනවා, අයි. පී. එල්. ඕනේ නැහැ කියලා.

නමුත් රටට ගහන්න වෙන කොට බෝම්බ ගහනවා කියලා කථා කරන්න නම් ක්‍රීඩකයෝ ගොඩාක් ඉන්නවා. මම කියන්නේ 2011 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකාවට මොකද වුණේ කියලා පරීක්ෂණයක් කරන්න. ක්‍රීඩා ඇමැතිවරු කරන්න ඕන ඕවා. තරගවල උඩ පන්දු අතහරින ඒවායි, බඩවල් ගැනයි කථා නොකර තරග පරදින හේතු හොයලා බලන්න. ඔය කථා කරන ක්‍රීඩකයින්ටත් දැන් හරි කාලේ ඇවිල්ලා තියෙනවා, මොනවා හරි වෙලා තියෙනවා නම් මෙන්න වෙච්ච දේ කියලා ඇවිල්ලා කියන්න. ඒ තරගාවලියේදී මමත් ඉන්දියාවේදී විස්තර විචාරයේ යෙදුණා. 


මටත් ලොකු කනස්සල්ලක් සහ සැකයක් ඇති වුණා. මට දැන්ම කියන්න බැහැ ඒවා මොකද්ද කියන එක. මම කරුණුත් එක්ක කවදක හරි දවසක ඒවා කියනවා. මං නම් කියන්නේ පරීක්ෂණයක් කරන්න ඕන නම් කරන්න ඕන මෙවැනි දේවල් ගැන. විශේෂයෙන්ම අමතක කරන්න එපා, පකිස්ථානය 96 ලෝක කුසලාන තරගාවලියට පෙර තමන්ගේ රටේ කණ්ඩායමෙන් භාගයක් ඉන්දියාවත් එක්ක අපේ රටට එව්වා. එදා ඔවුන් අපේ රටේ ප්‍රශ්නයක් නැහැ, ක්‍රිකට් ගහන්න පුළුවන් කියලා ලෝකයටම පෙන්නුවා. ඒවත් අපි අවධානයට ගන්න ඕන. පාකිස්ථානය අපේ ආසියාවේ සහෝදර රටක්. 

ඒව ගැන දන්නේ නැතිව මේ එක එක ක්‍රීඩකයෝ එක එක දේවල් කියනවා. අනෙක් පැත්තෙන් ගත්තහම ඉන්දියාවේදි තමයි එල්. ටී. ටී. ඊ තර්ජනය අපිට වැඩියෙන්ම තිබුණේ. නමුත් ඔය එකම ක්‍රීඩකයෙක්වත් ඉන්දියාවට යන්න බැහැ කිව්වේ නැහැ. මොකද ඒ ගොල්ලෝ දන්නවා බැහැයි කිව්වොත් අයි. පී. එල්. තරගාවලිය ලැබෙන්නේ නැහැයි කියලා. අයි. පී. එල්. තරගාවලියට යනකොට බෝම්බයක් ගියත් ඒවා මේ ක්‍රීඩකයින්ට පේන්නේ නැහැ. අපේ ක්‍රීඩකයින්ට වැදගත් විය යුත්තේ රටේ ක්‍රිකට්. ඒ ගොල්ලන්ගේ මැනේජර්ලයි, ඒගොල්ලන්ට සල්ලි හම්බ කරලා දෙන අයයි නෙමෙයි වැදගත් විය යුත්තේ. අද රටේ ක්‍රිකට් වැටිලා. 

ඒ ගැන ඔය ක්‍රීඩකයෝ කථා කරන්නේ නැහැ. නමුත් රට ඉඳන් තමන්ගේ මැනේජර් බේර ගන්න කථා කරනවා. මම නම් කියන්නේ ඒජන්තවරුන් සම්බන්ධයෙන් වන නීති පැනවිය යුතුයි. එක් ඒජන්තවරයකුට ක්‍රීඩකයෝ දෙන්නෙක් නැත්නම් තුන්දෙනෙක් කියලා නීතියක් ගෙන ආ යුතුයි. මම දන්න විදියට එක කණ්ඩායමකට ඔය චාලි ඔස්ටින් කියන තැනැත්තගේ ක්‍රීඩකයෝ පහ, හය, හත ගහලා තියෙනවා. අනිත් එක මේ පුද්ගලයා පිටරටින් ආපු පුද්ගලයෙක්. ඔහු මේ රටෙන් උපයන මුදලට බදු ගෙවලා තියෙනවද ? ඒව ගැන සොයන්න. මම කිසිම ක්‍රීඩකයෙක් පහත් කරලා කථා කරන්නේ නැහැ. නමුත් සුදු පිරුවටින් වහන් ඉන්න අයගේ ඇතුළේ මොනවද තියෙන්නේ කියලා මම දන්නවා….” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.

– තමීර මංජු

No comments:

Post a Comment

Post Bottom Ad