යහපාලන මිනීපෙට්ටි‍යට අන්තිම ඇණය ගසයි.. ඒකාබද්දයෙන් අලුත් ආණ්ඩුවක්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 27, 2017

යහපාලන මිනීපෙට්ටි‍යට අන්තිම ඇණය ගසයි.. ඒකාබද්දයෙන් අලුත් ආණ්ඩුවක්..

ජනතාවට හොරෙන් ගෙනෙන්නට යන රට බෙදන ව්‍යවස්ථාව වර්තමාන ආණ්ඩුවේ මිනීපෙට්ටි‍යට ගසන අන්තිම ඇණය බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

දිනෙන් දින කුණුවෙමින් ගඳ ගසන, ඕජස් ගලන වර්තමාන ආණ්ඩුවේ ආයුෂ දැන් අවසන් බව පැවසූ මන්ත්‍රීවරයා තවත් වැඩිදිනක් යන්නට මත්තෙන් මේ ආණ්ඩුව ගෙදර යවා මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ජනතාවාදී ආණ්ඩුවක් හදන බවත් පැවසීය. මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාව සංවිධාන කර තිබුණු රැස්වීමකට පැරිස් නුවර දී එක්වෙමිනි. රණතුංග මහතා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

මේ රටේ විතරක් නොවෙයි මුළු ලෝකයේම ඉතාමත් සූක්ෂමව සැලසුම් කරපු කුමන්ත්‍රණවලින් සුවිශේෂිතම කුමන්ත්‍රණයක් තමයි 2015 ජනවාරි 08 වැනි දා ක්‍රියාවට නැංවුණේ. ඒ කුමන්ත්‍රණය තමයි මහින්ද රාජපක්ෂ කියන හැම කෙනකුගේම ආදරය දිනූ නායකයා ඉවත් කර මේ රටේ පාලනය රූකඩ පාලකයන් අතට ලබා දීම.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධූරයෙන් ඉවත් කිරීමේ මේ කුමන්ත්‍රණය පසුපස්සේ හිටියේ අද ඔය පොත් ලියන, ජනවාරි 08 විප්ලවය ගැන මහ ලොකු කතා කියන අය නොවෙයි. බටහිර රටවල් සහ දෙමළ ඩයස්පෝරාව සමඟ එකතු වූ දේශද්‍රෝහී දේශපාලනඥයන් කිහිපදෙනකු තමයි මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ.

මහින්ද රාජපක්ෂ කියන චරිතය මේ රටේ දේශපාලනයෙන් ඉවත් කිරීමේ වුවමනාව මේ පිරිසට ඇති වුණේ ප්‍රභාකරන් කියන මිනීමරු ත්‍රස්තවාදියා 2009 දී වළපල්ලට ගියාට පස්සෙයි. ප්‍රභාකරන් මැරූ පළිය ගන්න බටහිර රටවල් සහ ඩයස්පෝරාව එකතු වෙන කොට තමන්ගේ අම්මා තාත්තා වුණත් විකුණන් කන්න ලෑස්ති දේශපාලනඥයෝ කිහිපදෙනකුත් බලලෝභය උදෙසා ඔවුන්ට සහයෝගය දුන්නා.

මේ අයට තිබුණ ලොකුම ප්‍රශ්නය තමයි යුද්ධයත් අවසන් කරලා රටත් සංවර්ධනය කරපු මහින්ද රාජපක්ෂ කියන නායකයා ඒ වන විටත් රටේ බහුතර ජනතාවගේ සිත්සතන් තුළ රජකරමින් හිටපු එක. ඒ හින්දා මේ කුමන්ත්‍රණකරුවන් මුලින්ම කල්පනා කළා ජනතාවගේ සිත්වලින් මහින්ද රාජපක්ෂ කියන චරිතය නැති කරලා දාන්නේ කොහොමද කියලා.

ඒ අනුව තමයි මහින්ද මහත්තයාගේ නම කෙළෙසීමේ කටයුතු පටන් ගත්තේ. මහින්ද මහත්තයා විතරක් නොවෙයි ඔහුගේ පවුලේ අයට පවා මඩ ගැසීමේ නින්දිත ක්‍රියාවලියක් මේ අය පටන් ගත්තා.ජනතාවගේ හිත්වල ක්‍රමානුකූලව ඇති කරපු මේ විසබීජ ක්‍රමයෙන් ඔඩුදුවලා 2015 ජනවාරි 08 වැනි දා මහින්ද මහත්තයා‍ට ධූරය කිරීම දක්වා ගෙන ඒමට කුමන්ත්‍රණකරුවන් කටයුතු කළා.

මේක එක රැයකින් කරපු කුමන්ත්‍රණයක් නොවෙයි. වසර ගණනාවක් මහන්සි වෙලා, සැලසුම් කරලා, කෝටි ගණන් මුදල් වියදම් කරලයි මේ කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ. 2010 ජනාධිපතිවරණයේ දී අසාර්ථක වුණත් 2015 දී කුමන්ත්‍රණකරුවන් සාර්ථක වුණේ මේ රටම මහා ආගාධයකට ඇද දැමීමේ ආරම්භය සනිටුහන් කරමින්. අද වන විට අපේ රටේ ජනතාවට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ මේ ජනවාරි 08 කුමන්ත්‍රණයේ අතුරු ප්‍රතිඵලයි. 


වසර තිහක ත්‍රස්තවාදයක් විනාශ කරලා සාමය උදා කරපු ‍රටට අද මොකද වෙලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලන්න. අද රටේ ජාතික ආරක්ෂාවට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හිතලා බලන්න. මිනීමරු ප්‍රභාකරන්ගෙන් රටට නිදහස් කරපු මහින්ද මහත්තයා ඇතුළු කණ්ඩායම ද්‍රෝහීන් විදියට නම් කරලා ජාත්‍යන්තර අධිකරණ හමුවට ගෙනියන්න අද ආණ්ඩුව කැසකවනවා. මේක තමයි ජනවාරි 08 වැනි දා බලය අරන් දුන්න එකට ඩයස්පෝරාවට සහ බටහිර ජාතීන්ට ගෙවන්න තියෙන කප්පම.

එදා රණවිරුවන් අද ද්‍රෝහීන් වෙලා. එදා මල්මාල දාපු අයටම අද ගල්මුල් එල්ල කරනවා. ජනතාව මේකද පැතුව වෙනස? නැහැ. මේක ජනතාව පැතුව වෙනස නොවෙයි මේක තමයි ඩයස්පෝරාව සහ බටහිර රටවල් පැතුව වෙනස. ඒ වෙනස වෙනුවෙන් තමයි මේ ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ. මහින්ද මහත්තයාගේ නායකත්වයෙන් අපේ වීරෝදාර රණවිරුවෝ ජීවිත නොතකා සටන් වැදුණේ අපේ රටේ ඒකීයභාවය වෙනුවෙන්. හැබැයි මේ ආණ්ඩුව ගේන්න යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් හදන්නේ ඒ ඒකීයභාවය නැති කරන්නයි. 


ඒකාබද්ධ විපක්ෂය විතරයි ඒකට විරුද්ධව කෙළින් කතා කරපු එකම කණ්ඩායම. අපි දැක්කා සමහරු යෝජනා කරනවා ව්‍යවස්ථාවේ සිංහල පිටපතේ ඒකීයභාවය කියන වචනය තියලා ඉංග්‍රීසි පිටපතෙන් අයින් කරමු කියලා. කාවද මේ රවට්ටන්න හදන්නේ? මේ රටේ සිංහල ජනතාවද? සිංහල ජනතාව රවට්ටලා අනෙකුත් ජාතීන් සන්තෝෂ කරන වැඩපිළිවෙළකට තමයි ආණ්ඩුව යන්න හදන්නේ. ආණ්ඩුව නම් කියන්නේ ඒකට සංහිඳියාව කියලා. 

සංහිඳියාව කියන්නේ සිංහලයට හෙණ ගැහුවත් කමක් නැහැ අනෙක් ජාතීන් තරහා වෙන්නේ නැත්නම් කියන එක තමයි මේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය. විග්නේශ්වරන් මහ ඇමැතිවරයා උතුරේ වෙනම රාජ්‍යයක් හදන්න කතා කරද්දි ආණ්ඩුව සද්දයක් නැහැ. ඔය වගේ වෙනම රාජ්‍ය හදන්න ආපු ප්‍රභාකරන්ට ජීවිතේට අමතක නොවන පාඩමක් උගන්වන්න අපේ මහින්ද මහත්තයාට පුළුවන්කම තිබුණා. අද එයාට මේ ලෝකේ නම් වෙනම රාජ්‍ය හදන්න පුළුවන්කමක් නැහැ. හැබැයි මේ ආණ්ඩුව කොන්දක් නැහැ විග්නේශ්වරන්ට පාඩමක් උගන්වන්න. ඒකෙන් පේන්නේ මේ ආණ්ඩුවේ තියෙන ගැතිකම.

අද රට හැමතැනම ජාතිවාදය ගැන කතා කරනවා. ජාතීන් විතරක් නෙමෙයි ආගම් විදියටත් ජනතාව බෙදීමට උත්සාහ කරනවා. මේ ජාතිවාදය ඇවිස්සවීම පසුපස ඉන්නේ ආණ්ඩුව. ආණ්ඩුව හදන්නේ ජාතිවාදය වගේ ප්‍රශ්න අවුළුවලා ජනතා අවධානය වෙන පැත්තකට යොමු කරලා රට බෙදන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්නයි. එදා ප්‍රභාකරන්ලා ඉල්ලපු ඊලම රිදී බන්දේසියක තියලා පිරිනමන්න තමයි මේ ආණ්ඩුව සැරසෙමින් ඉන්නේ. ඒකාබද්ධ විපක්ෂය නැත්නම් දැනටමත් මේ රට ෆෙඩරල් රටක් වෙලා ඉවරයි. 


අපේ ජීවිත තියෙනකම් මේ රට බෙදන්න ඉඩ තියන්නේ නැහැ. රට බෙදන ව්‍යවස්ථාව තමයි මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇනය. දැන් මිනිස්සුන්ට වෙනස එපා වෙලා ඉවරයි. හැමෝම කියන්නේ මේ වගේ වෙනසක් නම් හතුරෙකුටවත් දෙන්න එපා කියලයි. ඒ තරම් අප්‍රසන්න, ගඳ ගහන වෙනසක් තමයි මේ අය ගෙනාවේ. මේ කුණු වෙලා ගඳ ගහන, ඕජස් ගලන ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි. තව නොබෝ දිනකින් මේ ආණ්ඩුව ගෙදර යවලා අපේ ආණ්ඩුවක් රටේ හදනවා.

රට නොබෙදන, ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන, ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපවෙන ආණ්ඩුවක් තමයි අපි හදන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ නායකත්වයෙන් හදන ඒ ආණ්ඩුවේ පාලනය යටතේ අපි මේ රට ලෝකයේ ඉහළම සංවර්ධිත රටක් බවට පත් කරනවා. ඒක වළක්වන්න කාටවත් බැහැ.පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රංශ ශාඛාවේ සභාපති සභාපති උපාලි සමරනායක මහත්වරු ද මෙහිදී අදහස් දැක් වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad