තොණ්ඩමන්ගේ ඉඩමකට කුණු බැහැර කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

තොණ්ඩමන්ගේ ඉඩමකට කුණු බැහැර කරයි

හැටන් දික්ඔය නගර සීමාව තුළ එක්රැස් වී ඇති කැලි කසල ටොන් පනහක් පමණ කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේ ඉඩමකට බැහැර කිරීමට එම පක්ෂයේ මහ ලේකම් හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා පියවර ගෙන ඇති බව සඳහන් වේ.

හැටන් දික්ඔය නගර සභාවේ මාස තුනකට අධික කාලයක් කැලි කසල බැහැර කිරීමට ඉඩමක් නොමැති නිසා එම කැලි කසල හැටන් නගරයේ ස්ථාන කිහිපයකට ගොඩ ගසා තිබීම හේතුවෙන් එම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් හා පරිසර ගැටළු රැසක්ද මතු වී ඇත. හැටන් නගරයේ වෙළඳ ප්‍රජාව හා ප්‍රදේශවාසීන් පසුගිය 15 වනදා හැටන් නගර මධ්‍යයේ හර්තාල් ව්‍යාපාරයක් ද පවත්වනු ලැබීය.

එම උද්ඝෝෂණයට පැමිණි ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා දැනට හැටන් නගරයේ එකතු වී ඇති කැලි කසල එදිනම නුවරඑළිය ප්‍රාදේශීය සභාව මඟින් දිඹුල ප්‍රදේශයේ පවත්වාගෙන යන කැලි කසල ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් බැහැර කරන ලෙස හැටන් දික්ඔය නගර සභාවට නියෝග කර ඇත. එම නියෝගය මත නගර සභාව මඟින් එම කසල දිඹුල ප්‍රදේශයට රැගෙන යාමේදී වතුකරය නියෝජනය කරන තවත් වෘත්තිය සමිති නායකයෙකු එම කැලි කසල බැහැර කිරීමට විරෝධය දැක්වීම නිසා එම කැලි කසල නැවත දික්ඔය නගර සභාවට රැගෙන ඒමට සිදු විය.

වෘත්තිය සමිතියක ආධාරකරුවන් පිරිසක් දිඹුල පොලීසියට පැමිණිලි කරමින් සඳහන් කර ඇත්තේ වෙනත් පළාත් පාලන ආයතනයක කැලි කසල තමන්ගේ බල ප්‍රදේශයට රැගෙන ඒමට කිසිසේත්ම ඉඩ ලබා නොදෙන බවයි. එම විරෝධය හමුවේ ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රී ආරුමුගම් තොණ්ඩමන් මහතා විසින් එම පක්ෂයේ කොටගල පිහිටි ප්‍රධාන මුලස්ථානය හා ඔහුගේ නිවස පිහිටි ඉඩමට ඉදිරියෙන් වූ ඉඩමක මෙම කසල බැහැර කිරීමට අවසර දී ඇති බවයි.මෙම ගැටළුවට විසදුමක් ලැබෙන තෙක් කැලි කසල එම ඉඩමට බැහැර කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇත.
 


No comments:

Post a Comment

Post Bottom Ad