කුණු කතාවෙන් විමල් යළි කට අරී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, June 19, 2017

කුණු කතාවෙන් විමල් යළි කට අරී

සුරංගනා කතා රැසක් කියමින්, ජනතාව රවටා 2015 ජනවාරි 08 වැනිදා බලයට පැමිණි වත්මන් ආණ්ඩුව අද මේ රට කුණුවලින් පිරුණු - කුණු වූ රටක් බවට පත්කර තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (18) පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේ ද සඳහන් කළේය. “ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන නගරය ලෙසට විරුදාවලිය ලැබූ, එමෙන්ම පිරිසිදු බවේ සංකේතයක් බවට පත් වූ කොළඹ නගරය පමණක් නොවෙයි, තදාසන්න ප්‍රදේශවල හැම නගරයක්ම අද වන විට කුණුවලින් පිරුණු තත්වයකට පත් වෙලා. කුණුවලින් පිරුණු- කුණු වුණු රටක් බවට අද මේ රට, මේ ආණ්ඩුව විසින් පත්කර අවසන්. 

කුණු කඳු කඩා වැටිලා මිනිසුන්ගේ ජීවිත, දේපළ විනාශ වෙනවා පමණක් නොවෙයි මේ රටේ නගර, කුණු කඳු බවට පත්කරන ආණ්ඩුවක් බවට මේ ආණ්ඩුව පත්ව තිබෙනවා. රටක් භාරගත්තා නම් අඩු තරමින් පිරිසිදුකමේ වගකීම හෝ ගන්න ආණ්ඩුවකට පුළුවන් වෙන්න ඕනෙ. පළාත් පාලන මැතිවරණය කල් දමා, පළාත් පාලන ආයතන අද නිලධාරී පාලනයකට යටත් කොට තිබෙනවා. ඒ නිලධාරී පාලනය මගින් පළාත් පාලන ආයතනවල විය යුතු යුතුකම සහ වගකීම පැහැර හරින තත්වයකට පත් කරලා මේ ආණ්ඩුව ‘බකංනිලා’ ගෙන ඉන්නවා. 

අන්තිමේදී ‘හමුදාව දාලා මේ කුණු ඉවත් කරන්න’ කියන තත්වයට මේ ආණ්ඩුවේ ඇමතිවරුන් පත්ව සිටිනවා. දැන් බලන්න අරනායක සාමසර කන්ද නාය යාමෙන් විපතට පත් වූ ජනතාව අදටත් තාවකාලික ටෙන්ට් කූඩුවල ජීවත ගෙවනවා. මේ ස්වාභාවික ආපදාව සිදු වෙලා දැන් වසරකටත් වැඩියි. එහෙම තියෙද්දි මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට ඇමති පට්ටම්, සුඛෝපභෝගී වාහන ලැබෙනවා.

ඒ විතරක් නොවෙයි, දැන් ඩෙංගු රෝගය දිනෙන් දින බරපතළ ලෙස පැතිරෙමින් තිබෙනවා. පළාත් පාලන ආයතන අකර්මණ්‍ය කිරීම නිසා සිදු වූ බරපතළම හානිය තමයි මේ රටේ ජනතාව ඩෙංගු අවදානමට ලක්වීම. රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමතිවරයා නම් කියන්නේ ‘සංවර්ධනයත් සමඟ ඩෙංගු රෝගය මේ විදියට ව්‍යාප්ත වෙනවා’ කියලයි. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත නොවුණු රටවල් ලෝකයේ දුප්පත්ම රටවල් වෙන්න ඕනෙ. 

නමුත් සංවර්ධන දර්ශකවල ඉදිරියෙන්ම සිටින බොහෝ යුරෝපා, ස්කැන්ඩිනේවියානු රටවල් ඩෙංගු රෝගය ව්‍යාප්ත නොවූ රටවල්. මෙවැනි තකතීරු -අමන-මරි-මෝඩ කතාවලින් මේ සැබෑ ව්‍යසනය වසා දමන්නට බැහැ. දැන් බලන්න, පළාත් පාලන ආයතනවලට අදාළ අණපනත්වල පැහැදිලිව තිබෙනවා, එම ආයතනවල මුදල් වියදම් කළ හැක්කේ ඒවායේ මහජන නියෝජිතයන්ගේ අනුමැතිය සහිතව බව. අද පළාත් පාලන ආයතනවල මුදල් වියදම් කරන්නේ පළාත් පාලන ආයතනවල ලේකම්වරුන් ඇතුළු නිලධාරීවාදී පාලනයක් මගින්. 

එය නීතිවිරෝධියි. ඒ නිසා ආණ්ඩුව කළ යුත්තේ වහාම මහජනතාවගේ බදු මුදල් එසේ නීතිවිරෝධී ලෙස පරිහරණය කරන එක නතර කරන එකයි. දැන් කියනවා ‘ඩෙංගු ව්‍යාප්තිය වැඩි වුණේ ගංවතුර නිසයි’ කියලා. ඒකත් බොරුවක්. ගංවතුර තත්වයට මුහුණු නොපෑ දිස්ත්‍රික්කවලත් ඩෙංගු අවදානම බොහෝ ඉහළ ගොස් තිබෙනවා.“ මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad