නාඳුනන විදෙස් දුරකථන අංකයකින් ඇමතුම් ලැබීම ගැන - ටී ආර් සී / ටෙලිකොම් විශේෂ පරීක්ෂණයක්

පෙරේදා සහ ඊයේ ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිත කරන විශාල පිරිසකට නොදන්නා ඇමරිකානු දුරකථන අංකයකින් ලැබුණ ‘මිස් කෝල් එකක්‘ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට ඩිජිටල් හා යටිතල පහසුකම් ඇමතිවරයාගේ අණ පරිදි විදුලි සංදේශ නියාමන කොමිසම (TRC) සහ ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) ආයතන කටයුතු කරමින් සිටී.

මෙම ඇමතුම ලැබුණ වැඩි දෙනෙකුට එය ඔසවන්නට පෙර ‘කට්‘ වී තිබුණ අතර ඇමතුම කුමක්දැයි විමසන්නට සිතා එම අංකයට කිසිවෙකු යළි ලබාගන්නට උත්සාහ කළේ නම් තම දුරකථන බිලට විශාල මුදලක් කැපෙන සේවාවකට නොදැනුවත්ව සම්බන්ධවීමේ අවාසිය අත්විඳින්නට සිදුව ඇතිබව වාර්තාවේ. වැඩිහිටියන්ට පමණක් වෙන්වූ ඇමරිකානු ඩිජිටල් සේවාවක් මගින් මෙම ප්‍රචාරණ උපාය යොදවා ඇති බවට මේ වනවිට වාර්තාවී ඇත.

ලංකාවේ දුරකථන අංක හිමිකරුවන් පිළිබඳ දත්ත ගොනුව ඔවුන්ට ලැබුනේ කෙසේද යන්න ඉදිරි පරීක්ෂණ වලදී අනාවරණය වනු ඇත. මේ පිටුපස දේශීය ජාවාරම් කරුවන් සිටීද නැතහොත් ‘ටෘ කෝලර්‘ වැනි මෘදුකාංග හරහා උකහා ගන්නා දත්ත මේ සඳහා පදනම් කරගත්තේද යන්න සැකයට බඳුන්වී තිබේ. ජංගම දුරකථන වල ඇප් ස්ථාපනය කරගැනීමේදී නොදැනුවත්වම තම දුරකථන අංකය හා දුරකථනයේ සටහන්වූ මිතුරන්ගේ අංක නිරාවරණය වීම මත ඒවා මෘදුකාංගය මගින් රැස්කරගෙන මේ ආකාර ප්‍රචාරණයන්ට යොදාගැනීම නීතියට පටහැණිය.

මෙම ඇමතුම ඇමරිකාවේ සිට හෝ බටහිර කොදෙව් දූපත් සිට මෙහෙයවන කණ්ඩායමක් හසුරුවන බවට සාක්ෂි ලැබී ඇතැයිද ඊයේ සවස වාර්තා විය. නොදන්නා විදෙස් අංක වලින් එන ඇමතුම් වලින් ප්‍රවේශම් වන ලෙස ‍විදුලි සංදේශ නියාමන කොමිසම ජනතාවට දන්වා සිටී.
Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment