විග්නේෂ්වරන් ලඟ තබාගෙන ජනපති උතුරේ ප‍්‍රගතිය විමසයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

විග්නේෂ්වරන් ලඟ තබාගෙන ජනපති උතුරේ ප‍්‍රගතිය විමසයි

උතුරු පළාතේ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ ඉදිරි සංවර්ධන සැළසුම් පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) යාපනය දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

උතුරු පළාතේ කි‍්‍රයාත්මක කර ඇති සංවර්ධන වැඩපිළිවෙළේ ප‍්‍රගතිය සහ 2017 වසරේ උතුරේ සංවර්ධන කටයුතු සඳහා වෙන්කර තිබෙන මුදල් වැය කිරීම පිළිබඳ මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසු ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ නිසි සංවර්ධන සැළසුම් ඔස්සේ එම මුදල් ජනතා යහපත වෙනුවෙන් නිසි අයුරින් වැය කිරීම දේශපාලන නියෝජිතයින්ගේ මෙන්ම නිළධාරින්ගේ වගකීම බවයි.

යාපනය දිස්ති‍්‍රක්කයේ මහා මාර්ග, සෞඛ්‍ය, අධ්‍යාපනය, පානීය ජලය ඇතුළු ජනතාවගේ දෛනික ජීවිතය සඳහා අත්‍යාවශ්‍ය පහසුකම්වල අඩු පාඩු පිළිබඳ මෙහිදී සොයා බැලු ජනාධිපතිවරයා එම අඩුපාඩු කඩිනමින් සපුරාදීමට නිළධාරින්ට උපදෙස් දුන්නේය. එමෙන්ම නැවත පදිංචිකිරීම් කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

නිවාස ඉදිකිරීම සඳහා වැලි ලබා ගැනීමේදී ගැටලුකාරී තත්ත්වයකට මුහුණදීමට සිදුව ඇති බවට මෙහිදී දේශපාලන නියෝජිතයින් පෙන්වාදුන් අතර එහිදී ජනාධිපතිවරයා උපදෙස් දුන්නේ පරිසරයට හානියක් නොවන අයුරින් සුදුසු ස්ථානවලින් වැලි සහ බොරළු ලබා ගැනීමට අදාළ නිර්දේශ ලබා දෙන ලෙස තමා අදාළ නිළධාරින්ට උපදෙස් ලබා දෙන බවයි.

ඒ සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරයෙකුගෙන්, පරිසර අධිකාරියේ, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම වනජීවි දෙපාර්තමේන්තුවේ නිළධාරින්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඉදිරි සතිය තුළ එම කටයුතු අවසන් කිරීමට උපදෙස් ලබා දෙන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව යාපනය ආණ්ඩුකාර කාර්යාලය වෙත ගිය ජනාධිපතිවරයා අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් සමග ද හමුවකට එක් විය. උතුරු නැගෙනහිර පළාතේ දිස්ති‍්‍රක්ක අටම නියෝජනය කරමින් අතුරුදහන් වූවන්ගේ දෙමාපියන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර තම දරුවන් සොයා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ද එහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත භාරදෙනු ලැබීය.

No comments:

Post a Comment

Post Bottom Ad