කළු ගඟ දිගේ මුහුද ගොඩබිමට පැමිණෙයි කළුතර නගරය භීතියෙන් ඇළලෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 11, 2017

කළු ගඟ දිගේ මුහුද ගොඩබිමට පැමිණෙයි කළුතර නගරය භීතියෙන් ඇළලෙයි

දුර ගෙවා පැමිණෙන කළුගඟ සිය විසල් මෙහෙවර නිමාකර ගත වෙහෙස නිමාකරලනු ලබන්නේ තම යෝධ ජලකඳ මහ සයුරට එක්‌ කිරීමෙන් අනතුරුවය. කළුගඟත් පසෙකින් ගඟට මායිම්ව පිහිටා ඇති කළුතර බෝධියත්, ඉන් මඳක්‌ ඈතින් දිස්‌වන කළුතර වෙරළ තීරයත් කෙදිනකවත් එක්‌ නොවන දෙදෙනකු සේ වෙන් වෙන්ව පිහිටා ඇත. දුම්රිය මාර්ගය හා මහා මාර්ගයත් හේතුවෙන් කළුතර නගරය රටේ අනෙකුත් නගර සමඟ සසඳන කල පිහිටීම අතින් යම් විශේෂත්වයක්‌ සහිත නගරයක්‌ය. එහි කවදත් චමත්කාර බවක්‌ දකින්නට ලැබීය.

 ස්‌වභාව දහමේ රමණීයත්වය තුළ නොපෙනෙන අනතුරු සහ අවදානම නිරන්තරයෙන් සැරිසරන බව යළි යළිත් පසක්‌ කරමින් ඉකුත් දිනවල ඇද හැළුන අධික වැස්‌ස හේතුවෙන් වැහි බිඳු එක්‌රැස්‌ව කළුගඟ උස්‌මහත් කරන්නට වීමත් සමඟ සිය වර්ථන නියමයන් වෙනස්‌ කළ කළුගඟ වියරුවෙන් මෙන් ගලන්නට වන්නේ එතැන් සිටය. දිනක්‌ දෙකක්‌ ඉක්‌ම යැමත් සමඟ කළුතර අවට ගම්බිම් රැසක්‌ ජලයෙන් යටවීමත් සමඟ මිනිස්‌ ජීවිත හා දේපළ ආරක්‌ෂාව වෙනුවෙන් ආපදා කළමනාකරණ කටයුතු කඩිනම් කිරීමට තීරණය කරන අදාළ විෂයන් පිළිබඳ වගකීම් දරන රාජ්‍ය නිලධාරීන් පළමුව පැරණි මෝයකට පුළුල් කිරීම සඳහා උපදෙස්‌ ලබා දී ඇත්තේ ඉන් අනතුරුවය.

ඉන් පෙරත් හදිසි ගංවතුර තත්ත්වයන් හේතුවෙන් කළුගඟ මෝයකට පුළුල් කළ අවස්‌ථා කොතෙකුත් පැවැති අතර කළුගඟේ ජල මට්‌ටම මුහුදු මට්‌ටම ඉක්‌මවා යන අවස්‌ථාවලදී මෝයකට පුළුල් කරනු ලබන්නේ ප්‍රදේශයේ පහත්බිම් ගංවතුරෙන් ආරක්‌ෂා කිරීමේ අරමුණින්ය. ප්‍රදේශවාසී තතු දත් අය මේ සම්බන්ධව දරන අදහස වී ඇත්තේ ඉතිහාසයේ මෙවැනි දරුණු ගංවතුර තත්ත්වයක්‌ ඇතිවූ අවස්‌ථා කීපයකදී මෝයකට කපන්නට වූ බවත් 1989 වර්ෂයේදී ඇතිවූ එවැනි ගංවතුර තත්ත්වයක්‌ හේතුවෙන් එවකට ජනාධිපතිව සිටි ආර්. ප්‍රේමදාස මහතා ඒ සඳහා කොළඹින් වාරිමාර්ග ඉංජිනේරුවන් සහ යන්ත්‍ර සූත්‍ර රැගෙන ගොස්‌ එය විද්‍යානුකූලව සිදුකළ බවත්ය.

මෙවර ඇතිවූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් යළිත් වරක්‌ කළුතර මෝයකට පුළුල් කිරීමේ අවශ්‍යතාවක්‌ ඇතිවන අතර ගංවතුරට විසඳුමක්‌ ලෙස වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ අනෙකුත් වගකිවයුතු නිලධාරීන් එහි පළමු පියවර ලෙස පැරණි මෝයකට පුළුල් කරනු ලැබ ඇත්තේ එය ප්‍රමාණවත් විසඳුමක්‌ යෑයි තීරණය කිරීමෙන් අනතුරුවය. එහෙත් කළුගඟේ ජල මට්‌ටම එන්න එන්නම ඉහළ නැඟීමත් සමඟ පහත්බිම් රැසක්‌ දින තුන හතරක්‌ මුළුල්ලේ මුළුමනින්ම ජලයෙන් යටවීමට ගැනීම හේතුවෙන් අදාළ බලධාරීන් නැවත තීරණය කරනු ලබන්නේ මෝයකට තවත් පුළුල් කිරීම හැර උද්ගතව ඇති තත්ත්වයට වෙනත් විකල්පයක්‌ නොමැති බවය.

දෙවනුව එය සිදුවන්නේ පැරණි මෝයකට තවත් පුළුල් කිරීමක්‌ ලෙස නොව එයට තරමක්‌ ඈතින් පිහිටි වෙනත් ස්‌ථානයක්‌ ආශ්‍රිතව පිහිටි වෙනත් ස්‌ථානයක්‌ පුළුල්කොට ගඟදිය මුහුදට මුදා හැරීමය. එහිදී පවතින භූගෝලීය තත්ත්වයන් පිළිබඳ සැළකිලිමත් වන අදාළ නිලධාරීන් අඩි කීපයක්‌ දිගින් පළලින් යුක්‌තව එම කටයුත්ත සිදුකරන අතර දින ගණනාවක්‌ පැවැති ගංවතුර තත්ත්වය මර්දනය කිරීම පිණිස එය සාර්ථක විසඳුමක්‌ වී ඇත. එහෙත් කිසිවෙක්‌ අපේක්‌ෂා නොකළ අනපේක්‌ෂිත තත්ත්වයක්‌ උදා වන්නේ ඉන් අනතුරුවය. 


පහළට ගලන ගඟදියේ ඇති අධික පීඩන තත්ත්වය හේතුවෙන් ගොඩබිමට අයත් භූමියෙන් මීටර් 200 ක පමණ ප්‍රමාණයක්‌ මුහුදට ගසාගෙන යැමත් සමඟ මුහුදත් කළුගඟත් එකට එක්‌වන විශාල ඉඩකින් යුත් නිදහස්‌ කලාපයක්‌ නිර්මාණය වීමත් සමඟ මුහුදු ජලය ගඟදිගේ ඉහළට ගලා ඒම ආරම්භ වන්නේ ඉන් අනතුරුවය. මේ වනවිට කළුගඟේ පහළ කොටස මුළුමනින්ම වෙනස්‌ තත්ත්වයකට පත්ව ඇත්තේ ඉහත කරුණු කාරණාවල ප්‍රතිඵලයක්‌ ලෙසය. කළුගඟේ ජල මට්‌ටම පහත වැටීමත් සමඟ මුහුදු ජලය ගොඩබිම් කරා ඇදී එන්නේ මුහුදු රළ වෙරළ වෙත ළඟාවන අයුරින්ය. 

ඒ හේතුවෙන් කළුගං ඉවුර දැවැන්ත පාංශු ඛාදනයකට ලක්‌ව ඇති අයුරු දැකගත හැක. එහි ප්‍රතිඵලයක්‌ ලෙස කළුතර දුම්රිය ස්‌ථානය හා නාවික හමුදා කඳවුර ආශ්‍රිත ගං ඉවුරට පසුගිය දින කීපය පුරා විශාල හානියක්‌ සිදුවී හමාරය. මේ තත්ත්වය දගින් දිගටම පැවතියහොත් ඉන් කළුතර දකුණු දුම්රිය මාර්ගයට පවා හානි සිදුවිය හැකි බව ප්‍රදේශවාසීන්ගේ මතය වී ඇත. උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව කළුතර වාරිමාර්ග ඉංජිනේරුවරයාගෙන් අප කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ උද්ගතව ඇති තත්ත්වය අවානම් සහිත එකක්‌ නොවන බවත් කළුගං ඉවුරට යම් හානියක්‌ සිදුවී ඇති බැවින් වෙරළ සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව හා සාකච්ඡාකොට දැනටමත් ඊට විසඳුම් ලෙස ගංඉවුර ආරක්‌ෂාවන අයුරින් කළු ගල් ඇතිරීම සිදුකරන බවත්ය. 

දිවයිනට බලපා ඇති මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබන අගෝස්‌තු මස දක්‌වා මුහුදු රළ රළු ස්‌වභාවයක්‌ ගන්නා බවත් ඉන් අනතුරුව ස්‌වභාවිකව නිර්මාණය වන වැලිපරය හේතුවෙන් මෙම තත්ත්වය වර්ධනය වන බවත් එහිදී ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. උද්ගතව ඇති තත්ත්ව හේතුවෙන් කිසි විටෙකත් කළුතර පාලමට බලපෑමක්‌ සිදු නොවන බවද වාරිමාර්ග ඉංජිනේරුවරයා වැඩිදුරටත් පවසා සිටියේය. තත්ත්වය එසේ වුවද මේ දිනවල කළුතර දුම්රියපොළ ආශ්‍රිතව හා ඒ අවට ගං තීරයේ දකින්නට ඇත්තේ කළුගඟ මුහුදක්‌ ඇති ආකරයක්‌ය. 

රැළි නගමින් ගොඩබිම වෙතට පැමිණෙන ගඟදිය විසින් ගං ඉවුර වෙරළක්‌ බවට පත්කොට හමාරය. සවනට ඇසෙන්නේ රළ බිඳෙන හඬය. මෙම තත්ත්වයට විසඳුම් ලෙස ගල්වැටි ඉදිකිරිම මේ වනවිටත් සිදුකරන අතර ඒවා තාවකාලික විසඳුම් පමණය. අදාළ බලධාරීන් විසින් නිසි සොයා බැලීමක්‌ සිදුකොට උද්ගතව ඇති තත්ත්වයට ස්‌ථිර විසඳුම් සපයාදීම කඩිනම් කළ යුත්තේ පොඩි ඉඩක්‌ තුළ වුවද භයානක අනතුරු ඇතිවීමේ අවදානමක්‌ පවතින බව පසුගිය දිනවල ස්‌වභාව දහම විසින් පුන පුනා පාඩම් කියාදුන් බැවින්ය.

No comments:

Post a Comment

Post Bottom Ad