කඹුරුපිටියේ මරණ පිටුපස අභිරහස හෙළිවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 28, 2017

කඹුරුපිටියේ මරණ පිටුපස අභිරහස හෙළිවෙයි

කඹුරුපිටියේ බෙරලිඅතුර ප්‍රදේශයේදී පියෙක් සහ දරුවන් තිදෙනෙක් ගෙල වැලලාගෙන සමූහ සියදිවි හානිකර ගැනීමකට මුල්වී ඇත්තේ එම දරුවන්ගේ මව ඔවුන් අතහැර යෑම නිසා බව හෙළිවී තිබේ. එම පවුලේ වැඩිමල් දරුවාද පැවිදි දිවියට ඇතුළත් වී රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක රන්සෑගොඩ සුදත්ත වැඩ සිටින බව පොලීසිය කියයි. 

සියදිවි හානිකර ගැනීමට පෙර එක් දරුවකු එම භික්ෂුවට දුරකතන ඇමතුමක් ලබාදෙමින් සියලු දෙනාම සියදිවි හානිකර ගන්නා බව සදහන් කර ඇතැයි විමර්ශනවලින් හෙළිවී තිබෙන බව මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. කේ. ජයලත් මහතා සදහන් කළේය. පියා විසින් සහෝදරයන්ගේ දෑත් ගැටගසන බවත් තව ටිකකින් සියලුදෙනාම සිය දිවි හානිකර ගන්නා බවත් එහිදී එම හිමිනමට දුරකතනයෙන් පවසා ඇති බවද ජයලත් මහතා කීය. 

“අපිට පාසල් යන්න විදියක් නැහැ. මිනිස්සු එක එක කතා කියනවා. තාත්තා කෑවේ බිව්වෙත් නැහැ. පොඩි සාදු ගෙදර ආවා. තාත්ත ගත්ත තීරණයට අපි කැමැති වුණා. අපි තුන්දෙනාගේ මරණය ඔයා දකීවී” යැයි සදහන් කරමින් දරුවන් තිදෙනා විසින් ලියන ලද ලිපි කඹුරුපිටිය පොලීසියට ඊයේ (27දා) හමුවී තිබේ. එම ලිපි ඉකුත් 18 වැනිදා දාතමින් ලියා ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය. “පවුලේ ආරවුලක් මතයි ඒ දරුවන්ගේ අම්මා තරහ වෙලා ගෙදරින් ගිහින් තියෙන්නේ. මේ වන විට මාසයක් වෙනවා කියලයි කියන්නේ. පෙරේදා (26දා) ගෙදර එනවා කියලා අම්මා පොරොන්දු වෙලා තියෙනවා. ඒත් ඇවිල්ල නැහැ. අපි හිතනවා මෙම සියදිවි හානිකර ගැනීමට එය බලපාන්න ඇති කියලා.” යැයිද නියෝජ්‍ය පොලිස්පති ජයලත් මහතා සදහන් කළේය. 

මෙම පවුලේ පිරිමි දරුවන් දෙදෙනාම මහණවී සිටින අතර මේ වන විට ඉතිරිවී සිටින්නේ රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩ සිටින 19 හැවිරිදි වැඩිමහල් දරුවා පමණක් බව පොලීසිය කියයි. රන්සෑගොඩ මංගල නම්වූ 14 හැවිරිදි අනෙක් හිමිනම මෙයට සතියකට පෙර නිවෙසට පැමිණ බව එනතුරු බලා සිට ඇති බවද විමර්ශනවලින් අනාවරණය වී තිබේ. එම හිමියන් සහ 16 හැවිරිදි කෞෂල්‍යා සෙව්වන්දි, 10 හැවිරිදි හිරුණි සෙව්වන්දිකා යන දරුවන් තිදෙනා සියදිවි හානිකරගෙන ඇත්තේ ගස් දෙකක් අතර, හරහට දැමූ උණ ලීයක තංගුස් ලණු වලින් බව පොලීසිය කියයි. 

දරුවන් තිදෙනාගේ දෑත් පිටුපසට කර බැද තිබී ඇති බව පොලීසිය කියයි. ඔවුන් පුටුවක් මත සිට ඇති බවත් පියා විසින් ඔවුන්ව තොණ්ඩුව දමා අවසානයේ පුටුව වට්ටවා ඇති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත. අනතුරුව 44 හැවිරිදි පතිරණගේ ප්‍රියන්ත නම්වූ පියා ගසකට නැගී ගෙල වැලලාගෙන සිය දිවි හානිකරගෙන ඇතැයි පොලීසිය කියයි. ඊට පෙර ඔහු තම දේහය බිරියට පේනවීමට එපා යැයි කියා මුද්දරයක් උඩ අස්සන් කළ ලිපියක්ද පොලීසියට හමුවී ඇත. නිවෙසට ගිනි තබා ඇති බවට සැකකරන බව පොලීසිය සදහන් කරයි. 

බෙරලිඅතුර ප්‍රදේශයේ නිවෙසක් ගිනි ගන්නා බවට 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පෙරේදා (26දා) රාත්‍රී 9.45ට පමණ ලද දුරකථන ඇමතුමකට අනුව කඹුරුපිටිය පොලීසිය එහි ගොස් පරීක්ෂා කිරීමේදී මෙම මරණ දැක තිබෙන බව පොලිස් මූලස්ථානය ඊයේ (27දා) නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

ජනයුගය – 2017.06.28

No comments:

Post a Comment

Post Bottom Ad