ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා කලින් දවසේ රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා කලින් දවසේ රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලා

ද්විත්ව ප්‍රේමය කඩා දැම්මාට උරණවී කොට්ටාවේ තරුණිය ඝාතනය කළ පෙම්වතා
කලින් දා රෑ නිවසට ඇවිත් බැල්කනියෙ සැඟවිලා
CCTV දර්ශන මගින් හෙළිවේ


පෙරේදා කොට්ටාවේ නිවසකදී ඝාතනයට ලක්වූ තරින්දි ආලෝකා නමැති 26 හැවිරිදි තරුණියගේ ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණ අනුව මේ වනවිට වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගන්නට පොලිසිය සමත්ව තිබේ. තරින්දිගේ මව්පියන් තොග වෙළෙඳාම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන කෝටිපති වයාපාරිකයින් වන අතර එම වෙළෙඳ ස්ථානය පිහිටා තිබෙන්නේ කොට්ටාව හොරණ පාරේ ඔවුන්ගේ තෙමහල් නිවසට යාබද ගොඩනැගිල්ලේමය. 

තරින්දි රූපලාවන්‍ය පාඨමාලාවක් සඳහා විදෙස්ගතවීමේ සූදානමින්
පසුගිය දිනවල පසුවූ බවත් ඇගේ නැගණිය තවමත් පාසල් යන වයසේ සිටි බවත් කියැවුණි. තරින්දිගේ දෙමාපියන්ද දැනුවත්ව විවාහ යෝජනාවක් ගෙන ආ තරුණයෙකු එම නිවසට මීට වසර දෙකක පමණ කාලයක සිට ආගිය බව කියැවේ. මාතර හක්මන ප්‍රදේශයේ වාසය කළ ඔහුද ව්‍යාපාරිකයෙකි. වන්දනා ගමන් සංවිධානය කරන ව්‍යාපාරයක් ඔහු පවත්වාගෙන ගිය බව පැවසිණි.

මෙම පෙම්වතා ගැන තරින්දිට මුල් කාලයේ පැහැදීමක් තිබුණ නමුත් ඔහුගේ නොමනා ක්‍රියාකාරකම් කිහිපයක් අතට හසුවීම නිසා තරින්දි ඔහුට අකමැතිව සිටි බව කියැවේ. ඔහු මැය සමග විවාහ වන්නට අපේක්ෂාවෙන් නිවසට ආවත් ඔහුට තවත් පෙම්වතියක සිටින බව ඇයට දැනගන්නට ලැබීමෙන් පසු ප්‍රශ්න ඇතිව තිබේ. මින් මාස කිහිපයක සිට එම ප්‍රශ්න මතුව තිබුණ අතර ඔහුගේ ගමන් බිමන් ගැන සෝදිසියෙන් සිට ඇය සොයාගත් තොරතුරු ඔස්සේ මේ කියන බාහිර පෙම්වතියගේ දුරකථන අංක සොයාගන්නට ඇය සමත්ව තිබේ.

මෙම ඝාතන සිද්ධියට ආසන්නම සිදුවීම වන්නේ තරින්දි ඒ කියන කාන්තාවට කථාකොට මාතර පෙම්වතාගේ ‘ද්විත්ව ප්‍රේමය‘ ගැන තොරතුරු ඇයට හෙළිදරව් කර සිටීමයි. ඒ වනතුරු ඒ ගැන කිසිවක් දැන නොසිටි එකී කාන්තාව එය අසා පුදුමවී ඇති අතර ඔහුව අත්හැර දමන බවද පවසා ඇත. මෙම ක්‍රියාව නිසා පෙම්වතා කෝපයට පත්වූ බවත් තරින්දිට තර්ජනය කරන ලද බවත් වාර්තාවෙයි. තමාට තැන් දෙකම නැතිවීම ගැන ඔහු අවේශයෙන් සිටි බව කියැවේ.

පෙම්වතා සමග ප්‍රශ්න පැනනැගුණ බව තරින්දිගේ මාපියන් හා නැගණියද හොඳින් දැන සිටි අතර මේ නිසා පසුගිය කාලයේ පෙම්වතාට එම නිවසට එන්නට දොරටු විවිරවී තිබීද නැත. මේ නිසා තරින්දිගෙන් පලිගන්නට උවමනා වුවත් ඔහුට ක්‍රමයක් තිබී නැත. පසුගිය 22 වනදා උදේ තරින්දිගේ නැගණිය පාසලටත් මව්පියන් අසළ රැකියා ස්ථානයවූ වෙළෙඳ සැලටත් ගොස් තිබුණ අතර දහවල් නිවසේ තරින්දි සිට ඇත්තේ තනිවමය. ඇය ඝාතනයවූ බව මුල්වරට දකින්නේ පාසල් ඇරී නිවසට ආ නැගණියයි. 

හවස 2.20 ට පමණ නිවසට ආ නැගණිය තරින්දිව සොයා ඇති අතර ඇය පෙනෙන්නට නොසිටි නිසා දෙවන මහලේ පිහිටා තිබුණ තරින්දිගේ කාමරයට ගොස් බලා ඇත. එහිදී ඇය පුදුමයට පත් කරමින් ලේවිලක් මැද ඇඳේ වැතිර සිටි තරින්දිව දැකගන්නට ලැබී තිබේ. පසුව ඇය මේ ගැන දෙමාපියන්ට පවසා දෙමාපියන් මේ ගැන පොලිසියට කරන ලද දැනුම්දීමකට අනුව පොලිසිය එහි පැමිණ පරීක්‍ෂණ ආරම්භ කර තිබුණි.

ඇඳ මතදී  තරින්දිගේ ගෙල  සහ පිට ප්‍රදේශයට 20 කට අධික  මාරාන්තික පිහි ප්‍රහාර රැසක් එල්ලවී තිබුණ අතර ස්‌වාසනාලයට රුධිරය වහනය වී හුස්‌ම හිරවීමෙන් මරණය සිදුව ඇති බව  ඊයේ (23) පස්වරුවේ පැවති  පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය. ඇය දූෂණයට ලක්වීමක් සිදුව නැති බවද කළුබෝවිල මහ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි පී. බී. දසනායක මහතාගේ වාර්තාවේ දැක්වේ.

සම්පූර්ණ බාහිර සීසීටීවී ආවරණයක් සහිතව තිබුන මෙම නිවසේ සීසීටීවී දත්ත පරීක්ෂා කිරීමට පොලිසිය කටයුතු කරන ලද අතර එහිදී අනාවරණය වූයේ ඝාතනය සිදුකළ බව කියන පෙම්වතා දහවල් 10.30 ට පමණ නිවසින් පිටව යන දර්ශන එහි පටිගතවී ඇති අයුරුය. කෙසේ වෙතත් ආපස්සට යවා බලද්දී පෙම්වතා පැමිණෙන දර්ශන සොයාගන්නට එක්වරම බැරිව ගොස් තිබේ. පොලිසිය ඒ අනුව සීසීටීවී කැමරා සියල්ල පරීක්ෂා කර තිබෙන අතර පෙම්වතා තාප්පයකින් පැන නිවසට ඇතුළුවන්නේ සිදුවීමට පෙරදින(21) රාත්‍රියේ බවත් ඔහු නගින්නේ 3 වන තට්ටුවට බවත් සොයාගන්නට හැකිව තිබේ.

ඒ අනුව තුන්වන තට්ටුවේ බැල්කනියක ඔහු පසුදා වනතුරු සැඟවී සිට නිවසේ පිරිස පිටව ගොස් තරින්දි තනිවෙන වේලාව තෙක් බලාසිට ඔහු නිවසට ඇතුළුවී මෙම ඝාතනය සිදු කරන්නට ඇතිය යන සැකය මතුව තිබේ. ඝාතනයෙන් අනතුරුව ඔහු නිවසින් පිටව ගොස් ඇත්තේ ප්‍රධාන දොරටුවෙනි. මාතර ප්‍රදේශයේ පදිංචි එම තරුණයා මේ වනවිට නිවසින් පළාගොස් සැඟව ඇති බව පොලිස් ආරංචි මාර්ග හෙළි කර තිබෙන අතර ඔහුව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් පවතී.


No comments:

Post a Comment

Post Bottom Ad