බිරිඳ දරුවා නැසූ හැටි සුනඛයෙක් හෙළි කරයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, June 13, 2017

බිරිඳ දරුවා නැසූ හැටි සුනඛයෙක් හෙළි කරයි..

තම සැමියාට හොරෙන් තරුණ බිරිඳක විසින් ප්‍රසූත කර කසළ ගොඩකට විසිකර තිබූ දරුවාගේ මළ සිරුර සුනඛයකු විසින් දරුවාගේ නිවස ඉදිරිපිටටම ගෙනැවිත් දමා සියලූ රහස් පොලිසියට හෙළිකිරීමේ සිදුවීමක් පිළිබඳ මහියංගණයෙන් වාර්තා වේ.

සුනඛයකු විසින් බිළිඳු මළ සිරුරක් නිවසක් ඉදිරිපිටට ගෙනවිත් දමා ඇතැයි පුද්ගලයකුගෙන් ලද පැමිණිල්ලකට අනුව මහියංගන පොලිසිය කළ විමර්ශනයේදී හෙළිවී ඇත්තේ තම සැමියාට හොරෙන් මෙම දරුවා ප්‍රසූත කොට ඒ බව නොදන්වා මළ සිරුර කසළ ගොඩකට විසිකර දමා තිබියදී සුනඛයකු විසින් දොරකඩට ගෙනැවිත් දමා ඇති බවයි. ඒ පිළිබඳ නොදත් සැමියා මේ බිළිඳු මළ සිරුර පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත.

දෙහිඅත්තකන්ඩිය රත්මල්කදුර ප්‍රදේශයේ සිට මහියංගන දම්බරාව, 17 ඇල ප්‍රදේශයේ තාවකාලික පදිංචිව සිටි යුවලකගේ වයස 25ක් වු සැමියා මෙලෙස මහියංගන පොලිසිය වෙත පැමිණිලි කර තිබේ. පොලිසිය වෙත පැමිණිලි කළ සැමියා කොළඹ ප්‍රදේශයේ කම්කරු රැකියාවක නිරත අයෙක් වන අතර පසුගිය 10 වැනිදා ඔහුගේ බිරිඳට අධික රුධිර වහනයක් සිදුවූ බවට දුරකථනයෙන් සිදුකළ දැනුම් දීමකට අනුව ඔහු නිවෙස බලා පැමිණ ඇත.

බිරිඳ රෝහල්ගත කිරීමට සැරසෙමින් සිටියදී ඔවුන්ගේ නිවස ඉදිරිපිටට අලූ‍ත උපන් බිළිදු මළසිරුරක් මෙසේ සුනඛයකු විසින් ගෙනවිත් දමා තිබී ඇති අතර ඒ සම්බන්ධයෙන් බිරිඳගෙන් ප්‍රශ්න කළද බිරිද කිසිවක් ප්‍රකාශ නොකළ බව සැමියා සිය පැමිණිල්ලේදී ප්‍රකාශ කළ බව පොලිසිය පැවැසීය. ඒ හේතුවෙන් ඔහු බිළිදු මළසිරුර සම්බන්ධයෙන් මහියංගණ පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර පොලිසිය විසින් පරික්ෂණ කටයුතු ආරම්භ කිරිමෙන් පසු රෝහල් ගත කෙරුණ කාන්තාවගේ වෛද්‍ය වර්තාවලින් ඇය දරුවෙකු ප්‍රසූත කර ඇති බව තහවුරු කරගෙන තිබේ.

ඒ අනුව පොලිසිය ඇගෙන් ප්‍රශ්න කිරිම් ආරම්භ කර ඇති අතර එහිදි 9දා රාත්‍රියේ නිවසේ දී තමන් විසින් තනිවම දරුවකු ප්‍රසූත කළ බවත්, පෙකෙණිවැල සිරුරට අගලක් පමණ දිගට ඉතිරිවන සේ කතුරකින් කැපූ බවත් ඇය ප්‍රකාශ කර ඇත. උපන් බිළිදා මේසය මත තැබුවද කිසිදු හැඬීමක් නොකළ බවත්, හුස්ම ගැනිමක්ද නොකළ බැවින් පසුව රෙදි කඩතින් ඔතා නිවස ඉදිරිපිට වෙල්යාය අසල කුණු ගොඩට දැමු බව ඇය පවසා තිබේ.

පසුව අධික රුධිර වහනය හේතුවෙන් රෝහල් ගතවීම සදහා කොළඹ සිටින සැමියා හට දුරකථනයෙන් දැනුම් දුන් බවත්, තමාට දරුවෙකු ලැබීමට සිටින බව තම සැමියාටද, ඥාතින්ටද, අසල් වාසින්ටද වසන් කරගෙන සිටි බවත් ඇය පවසා ඇත. එහෙත් එයට හේතුව පිළිබද ප්‍රශ්න කිරිමේදී  ඇය විසින් පිළිතුරු ලබාදීමෙන් වැළකී ඇත. මෙම කාන්තාව වයස 23ක් වු එක් දරු මවක් වන අතර පළමු දරුවාගේ වයස අවුරුද්දයි මාස 10කි.

එම දරුවාද ලැබීමට සිටියදී මාස 07ක් ඉක්මව ගිය පසු ඇය සැමියාට හා පවුල් සෞඛ්‍ය සේවිකාවන්ට දැන්වූ බව සැමියා පවසන ලදි. මෙම දරුවා අනියම් ඇසුරක් හේතුවෙන් ඇති වූ දරුවෙක්ද යන්න පැහැදිලි නොමැති අතර ඒ සම්බන්ධයෙන් තවදුරටත් පොලිසිය ප්‍රශ්න කරගෙන යන බවත් පරික්ෂණ කටයුතු සිදු කරන බවත් පොලිසිය පවසයි.

No comments:

Post a Comment

Post Bottom Ad