ඇස්‌ දුර්වල කරන පෙනහළු නරක්‌ කරන ශ්‍රී ලංකාවේ පමණක් ඇති විෂ කඩදාසියේ මුද්‍රිත පාඩම් පොත මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, June 14, 2017

ඇස්‌ දුර්වල කරන පෙනහළු නරක්‌ කරන ශ්‍රී ලංකාවේ පමණක් ඇති විෂ කඩදාසියේ මුද්‍රිත පාඩම් පොත මෙන්න..

“පොතක දිගුකල් පැවැත්ම, මුද්‍රණ සුපැහැදිලිතාව, නිවැරදි වර්ණ සංකලනය හා වර්ණ විභේදනය ආදිය සැලකිල්ලට ගනිමින් වඩා උසස්‌ තත්ත්වයේ පොත් නිර්මාණය කර ගත හැකි වෙතැයි යෝජනා වී ඇත. එම යෝජනා සැලකිල්ලට ගෙන ඇරඹුණු නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵලයක්‌ ලෙස, අලුත්, කල්පවතින, කෘත්‍රීම කඩදාසියක මෙම පෙළ පොත මුද්‍රණය කර තිබේ. මෙමගින් ලැබෙන ප්‍රතිඵල සමාලෝචනය කිරීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ ඉදිරි පියවර තීරණය වනු ඇත.”

මෙම උපුටනය අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළපොතට ලබා දී ඇති පණිවුඩයෙනි. මෙම පණිවුඩය ඇතුළත් හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව පෙළපොත පාසල්වල හත්වැනි ශ්‍රේණියේ එම විෂයය ඉගෙන ගන්නා සියලුම සිසු දරුවන්ට ලැබී නැත. මෙම පෙළ පොත දැනට ලබා දී ඇත්තේ පිරිසකට පමණි. එනම් භූගෝල විද්‍යාව පෙළපොත මෙම වසර මුලදී නොලද සිසුන්ට පමණි. මෙහි විශේෂත්වයක්‌ තිබේ. සාමාන්‍ය කඩදාසියේ මුද්‍රණය කරන පෙළපොත වසරකින් දෙකකින් යළි භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වෙයි. 

දරුවන්ගේ පාවිච්චිය අනුව පොතට හානි සිදුවීම සාමාන්‍යය. නව පෙළපොත මුද්‍රණය කර ඇත්තේ සාමාන්‍ය කඩදාසියක නොව කෘත්‍රීම (සින්තටික්‌) කඩදාසියකය. මෙම කෘත්‍රීම කඩදාසිය නොදිරයි. ජලයට දැමුවද හානියක්‌ නැත. කොළ ඉරීමට හැකියාවක්‌ නැත. කෘත්‍රීම කඩදාසියක පෙළපොත මුද්‍රණය කිරීමේ අරමුණ වසර පහක්‌ එක දිගට පාවිච්චි කිරීමය. එමගින් වසරින් වසර පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා වන වියදම ඉතිරි කර ගැනීමද අධ්‍යාපන ඇමැතිවරයාගේ අරමුණ විය හැකිය.



කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණ යෝජනාව යහපාලන ආණ්‌ඩුව බලයට පත් සමයේම කරලියට පැමිණ තිබිණි. එම යෝජනාවට යම් විරෝධයක්‌ ද එල්ල විය. විරෝධය එල්ල වීමට Rජු ලෙසම බලපෑවේ කෘත්‍රීම කඩදාසි පෙළපොතෙන් දරුවන්ගේ සෞඛ්‍යයට සිදු විය හැකි බලපෑමය. අනෙක්‌ කරුණ නම් වසර ගණනක්‌ නොදිරන මෙම කෘත්‍රීම කඩදාසියෙන් පරිසරයට එල්ල කෙරෙන බලපෑමය. මෙම මුලික හේතු දෙක පෙළපොත් මුද්‍රණය සඳහා කෘත්‍රීම කඩදාසි යොදා නොගැනීමට අතිශයින් ප්‍රමාණවත් වන්නේ වුව හොඳම දේ දරුවන්ට” දෙන්නේය යන උට්‌ඨාන වීර්යය පෙරදැරිව අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතා පොත මුද්‍රණය කළේය. 

මුද්‍රණය කරන ලද පොත් සංඛ්‍යාව පන් ලක්‍ෂයකි. සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රිත මෙම පෙළපොත් පන් ලක්‍ෂය වෙනුවෙන් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව දැරූ වියදම රුපියල් කෝටි පහළවකට අධික ය. සාමාන්‍ය කඩදාසියේ පොත් ලක්‍ෂ පහ මුද්‍රණය කළේ නම් වැය වන මුදල රුපියල් දෙකෝටි පනස්‌ පන් ලක්‍ෂයක්‌ පමණය. එනම් කෘත්‍රීම කඩදාසියේ මුද්‍රණය සඳහා සාමාන්‍ය පෙළ පොතට වැය වන මුදල මෙන් සය ගුණයක්‌ එකවර වියදම් කිරීමට දෙපාර්තමේන්තුවට සිදු වී ඇත. වසරින් වසර පෙළ පොත් මුද්‍රණය සඳහා වන වියදම අඩු කර ගැනීම සඳහා එමෙන් සය ගුණයක්‌ වැය කර පෙළපොතක්‌ මුද්‍රණය කර පස්‌ වසරක්‌ පාවිච්චි කිරීම කෙතරම් විශිෂ්ට ලාභාලාභ ක්‍රමයක්‌ ද? 

කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණය කර රටට මුදල් ඉතිරි කිරීමේ “ඇමැති න්‍යාය” සම්බන්ධයෙන් තවදුරටත් කතා කිරීමේ ප්‍රතිඵලයක්‌ නැත. කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණය කරලීමේ යෝජනාව කුණු කඩයට දැමීය හැකි මුලික කරුණු 2 ක්‌ ඉහත සඳහන් කළෙමි. දරුවන්ගේ ශරීර සෞඛ්‍යයට හා පරිසරයට එල්ල කෙරෙන බලපෑම එම කරුණුය. මේ වන විට සිසුන් පිරිසකගේ අතට පත් කර ඇති පෙළපොතින් පරිසරයට එල්ල කෙරෙන බලපෑමට කදිම පිළියමක්‌ අමාත්‍යාංශය ගෙන ඇත. එනම් පොත මුද්‍රණය කරන ආයතනයටම එය ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වගකීම පැවරීමය. 

කුණු කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ක්‍රමය පළමුවෙන්ම සොයා ගනිමින් ලොවටම එය හඳුන්වා දීමේ පූර්ණ ගෞරවය දිනා ගත් රට ශ්‍රී ලංකාව හෙයින්ද ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා කුණු ටිකක්‌ සොයා ගැනීමට උතුරේ සිට දකුණට ඇවිද්දත් නොහැකි හෙයින්ද ආනයනය කරන කෘත්‍රීම කඩදාසි හෝ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගැනීමට හැකි වීම කෙතරම් අහ්ලාදයක්‌ද? එහෙයින් ඒ පිළිබඳවද ගැටලුවක්‌ මතු විය නොහැකි යෑයි කටකොණින් සිනහ වෙමින් හෝ උපකල්පනය කළ හැකිය. කෘත්‍රීම කඩදාසියේ පෙළපොත මුද්‍රණය කිරීමේ ප්‍රධානම ගැටලුව නම් එය දරුවන්ගේ සෞඛ්‍යයට හිතකර ද යන්න අධ්‍යාපන අමාත්‍යාංශය සොයා බැලුවේ ද යන්නය. පෙළපොතක්‌ යනු දරුවන් සන්තකයෙහි නිරන්තරයෙන් පරිහරණය වන්නකි. 

එම කඩදාසිය දරුවන්ගේ ශරීර සෞඛ්‍ය හිතකර නොවන වගට පොත මුද්‍රණයට පෙර ම කරුණු ඉදිරිපත්ව තිබියදීත් ඒ පිළිබඳ සොයා බැලීමේ වගකීමක්‌ අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් මහතාට නොතිබුණු බව ඉතාම පැහැදිලිය. කිසිවකුට හෝ එවන් වුවමනාවක්‌ තිබුණේ වී නම් කෘත්‍රීම පෙළපොත මුද්‍රණය කිරීම පසෙකලා එම යෝජනාව ඉදිරිපත් කළවූන්ට දඬුවම් කරන්නේය. අධ්‍යාපන ඇමැතිවරයා කටින් වමාරන දේ ක්‍රියාවෙන් ඔප්පු නොකරන වගට කදිම සාක්‍ෂිය මෙම පෙළපොත මුද්‍රණය කර සිසුන් අතට පත් කිරීමය. අධ්‍යාපනය භාර වගකිවයුත්තන්ට මේ අයුරින් වගකීම් විරහිත ලෙස ක්‍රියා කළ හැකි අන් රටක්‌ ලොව කොතැනක හෝ තිබිය නොහැකිය.

කෘත්‍රීම කඩදාසියේ පෙළපොත මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යාක්‍ෂ ජනරාල් එස්‌. එස්‌. මුදලිගේ මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතාට ලිපියක්‌ යවා තිබේ. ඒ පසුගිය වසරේ සැප්තැම්බර් මස 2 වැනිදා නමිනි. එහි මෙලෙස සඳහන් වෙයි. මෙම කෘත්‍රීම කඩදාසි කිසිදු රටක පාසල් පෙළපොත් මුද්‍රණය සඳහා යොදා නොගන්නා බව ශක්‍යතා වාර්තාවේ සඳහන් කර ඇත. එබැවින් පරිසර හිතකාමී වඩාත් දියුණු රටවලද පෙළපොත් මුද්‍රණය සඳහා මෙම කඩදාසි භාවිතා නොකිරීමට හේතුව පිළිබඳවද ගැඹුරින් විමසා බැලිය යුතුය. 

දැනට මෙම පෙළපොත් මුද්‍රණය සඳහා ඉදිරිපත් වී සිටින මුද්‍රණාල අතරින් කිහිපයක්‌ සතුව කෘත්‍රීම කඩදාසිවල පොත් මුද්‍රණය කිරීමේ හැකියාව සහිත මුද්‍රණ යන්ත්‍ර තිබෙන බව ශක්‍යතා අධ්‍යයන වාර්තාවේ සඳහන් කර ඇත. නියාමන ව්‍යාපෘතියෙන් අනතුරුව සියලුම පෙළපොත් මෙම කඩදාසියේ මුද්‍රණය කෙරෙන්නේ නම් මෙම මුද්‍රණාල සතුව පෙළපොත් මිලියන 42 වැනි විශාල සංඛ්‍යාවක්‌ මුද්‍රණය කිරීමට හැකියාව ඇත්තදැයි සොයාබැලීම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර සිදු කළ හැකිය. මෙම නියාමන ව්‍යාපෘතියෙන් පසු සියලු පෙළපොත් මුද්‍රණය කෙරෙන්නේ නම් ආදාල යන්ත්‍ර ආනයනය කරන බවට සඳහන් කර ඇතත් එවැනි තත්ත්වයන් යටතේ පාසල් පොත් මුද්‍රණය සඳහා යොමු වීම අවදානම් සහගතයි. 

එමෙන්ම කෘත්‍රීම කඩදාසියේ පෙළපොත් මුද්‍රණය කිරීම සඳහා ආයතන කිහිපයක්‌ පමණක්‌ පවතින්නේ නම් ඒ පිළිබඳව ඒකාධිකාරයක්‌ ඇති විය හැකි අතර එමගින් පෙළපොත්වල ගුණාත්මක භාවය අඩු වී යා හැකිය. ශ්‍රී ලංකාවේ ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදය තවදුරටත් දියුණු විය යුතු බැවින් සහ කෘත්‍රීම කඩදාසි ප්‍රතිචක්‌ක්‍රීකරණය කිරීම සඳහා කාර්යක්‌ෂම ක්‍රමවේදයක්‌ දැනට ක්‍රියාත්මක නොවන නිසා මධ්‍යම පරිසර අධිකාරිය සමග එක්‌ව මෙම පොත් බැහැර කිරීමේ ක්‍රමවේදයක්‌ නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර සකස්‌ කිරීම සුදුසු වේ.

මේ නිරීක්‍ෂණවලට අනුව මධ්‍යම පරිසර අධිකාරිය, සෞඛ්‍ය අමාත්‍යාංශය, රජය මුද්‍රණාලය, ජාතික අධ්‍යාපන ආයතනය සහ අධ්‍යාපනඥයන්ගෙන් සැදුම්ලත් ස්‌වාධීන විද්වත් කමිටුවක්‌ මගින් කෘත්‍රීම කමිටුවක්‌ මගින් පාසල් පොත් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මූල්‍ය, තාක්‍ෂණික, පාරිසරික සහ පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්‍ෂක පැතිකඩ ආවරණය කරමින් සවිත්තරාත්මකව පිරිවැය ප්‍රතිලාභ අධ්‍යනයක්‌ සිදු කොට එම නිර්දේශයක්‌ අමාත්‍ය මණ්‌ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස යෝජනා කරමි.” යනුවෙනි.

සැප්තැම්බර් මස 2 වැනිදා නමින් අතිශය වැදගත් අදහස්‌ රැසක්‌ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සඳහන් කර ඇත්තේ කෘත්‍රීම කඩදාසි පෙළ පොත සම්බන්ධයෙන් වගකිව යුත්තන්ගේ ඇස්‌ ඇරලීම සඳහා බව නිසැකය. කරුණු එසේ තිබියදී ඉන් දින කිහිපයකට පසු එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව අධ්‍යාපන ලේකම්වරයාට ලිපියක්‌ නිකුත් වෙයි. එම ලිපියෙන් කියෑවෙන්නේ කෘත්‍රිම කඩදාසියේ පෙළපොත මුද්‍රණයට දෙපාර්තමේන්තුවේ විරෝධතාවක්‌ නොමැති බවය. එකම ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම පෙළ පොත මුද්‍රණය සම්බන්ධයෙන් දින කිහිපයක්‌ තුළ එනිනෙකට ගැටෙන ලිපි දෙකක්‌ නිකුත් කිරීම සැබැවින්ම ගැටලු සහගතය. 

පෙළපොත මුද්‍රණයට විරෝධතාවක්‌ නොමැති බව අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිපිය නිකුත්කර ඇත්තේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් කරන ලද යෝජනා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඒ අයුරින්ම සපුරනු ලැබූ හෙයින්ද නැතහොත් වෙනත් කරුණක්‌ නිසාද යන්න සැක සහිතය. එය සැක සහිත වන්නේ අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ ලිපියෙන් මාසයකට පමණ පසු පෙළපොත මුද්‍රණය සම්බන්ධයෙන් වන හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතාගේ නිරීක්‍ෂණ අනුවය. එම නිරීක්‍ෂණ අනුව පැහැදිලි වන්නේ ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සැප්තැම්බර් මස 2 වැනිදා කළ යෝජනා ඔක්‌තෝබර් මස 24 වැනිදා වනවිටත් ක්‍රියාත්මක වී නොමැති බවය. 

මුදල් ඇමැතිවරයා සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කර ඇත්තේ ඔක්‌තෝබර් මස 24 වැනිදාය. එම නිරීක්‍ෂණයන්හි මෙසේ සඳහන් වෙයි. “මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පෙර ජාතික ක්‍රම සම්පාදන දෙපාර්තමේන්තුව විසින් යෝජනා කළ පරිදි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පහත සඳහන් කරුණු සැළකිල්ලට ගනිමින් ස්‌වාධීන විශේෂඥ කණ්‌ඩායමක්‌ මගින් අමාත්‍ය මණ්‌ඩලය වෙත සවිස්‌තරාත්මක වාර්තාවක්‌ ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතු බවට යෝජනා කරමි.

1. දැනට පවතින පෙළ පොත්හි ගුණාත්මක භාවය සහ කල් පැවැත්ම සම්බන්ධයෙන් පැමිණිලි වාර්තාවී ඇතිද යන්න.

2. කෘත්‍රිම කඩදාසි භාවිතයේදී ඇතිවී ඇති පාරිසරික බලපෑම් සහ භාවිතා කරන ලද පෙළ පොත් බැහැර කිරීමේදී අනුගමනය කළ හැකි ක්‍රමවේදයන් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය හා අනෙකුත් අදාළ ආයතන සමඟ සාකච්ඡා කිරීම.

3. ගෝලීය සංදර්භය තුළ පාසල් පෙළ පොත් සඳහා කල් පවතින කෘත්‍රිම කඩදාසි භාවිතා කිරීම සම්බන්ධව පූර්ව අත්දැකීම් නොමැතිවීම සහ වර්තමානයේදී ඒවා ආගමික පොත් සහ සිතියම් වැනි සීමිත ක්‍ෂේත්‍රයක පමණක්‌ භාවිතා වීම.

4. මෙම පොත් භාවිතා කළ යුතු වන්නේ පාසල් ළමයි වන බැවින් සෞඛ්‍ය, ආරක්‌ෂාව සහ සනීපාරක්‌ෂක අංශ එනම්, මෙම කඩදාසිවල අන්තරායකාරී අංශු සම්බන්ධව තරයේ පරීක්‍ෂා කළ යුතුය.

5. කෘත්‍රිම කඩදාසිවල පාඨක හිතෛෂීභාවය පිළිබඳව විද්‍යාත්මකව තක්‌සේරු කළ යුතුය.

6. අනාගතයේදී කඩදාසිවලින් තොර ගුණාත්මක පාසල් ද්‍රව්‍ය ප්‍රවර්¨ධනය කිරීමේ ඊ – ඉගෙනීම් සංකල්පමය (E – Learning concept) – පසුබිමක්‌ තුළ පාසල් පෙළ පොත් මුද්‍රණය කිරීමේ ද්‍රව්‍යයක්‌ ලෙස මෙම යෝජිත කෘත්‍රිම කඩදාසි භාවිතයේ ශක්‍යතාව නැවත තක්‌සේරු කළ යුතුය.” යනුවෙනි.

එසේ තිබියදී ඉන් පසුදින එනම් ඔක්‌තෝබර් මස 25 වැනිදා පෙළපොත මුද්‍රණය සඳහා කැබිනට්‌ මණ්‌ඩල අනුමැතිය ලැබී ඇත. සිය නිරීක්‍ෂණ ඉදිරිපත් කරමින් කෘත්‍රිම කඩදාසිවල අන්තරායකාරී අංශු සම්බන්ධව තරයේ පරීක්‍ෂා කළ යුතු යෑයි මුදල් ඇමැතිවරයා ප්‍රකාශකර පැය 24 ක්‌ ගතවීමට පෙර ව්‍යාපෘතිය සඳහා කැබිනට්‌ අනුමැතිය ලැබීම සඳහා ක්‍රියාත්මක වූ අදිසි බලවේගය කෙතරම් ප්‍රබල විය යුතුද යන්න අමුතුවෙන් සඳහන් කරනු අනවශ්‍යය.

අධ්‍යාපන ඇමැතිවරයා ප්‍රමුඛ කැබිනට්‌ මණ්‌ඩලය මෙම පොත මුද්‍රණය කිරීම සඳහා අනුමැතිය දීම කොතරම් භයානකද යන්න පැහැදිලි වන්නේ ජාතික ප්‍රමිති සහ තාක්‌ෂණ ආයතනයේ පරීක්‍ෂණ වාර්තාවෙනි.
එම වාර්තාවේ පෙළපොත මුද්‍රණය සම්බන්ධයෙන් නිර්දේශ හයක්‌ සඳහන් වෙයි. 

ඒවා නම්

“1. සැපයුම්කරු විසින් නිර්දේශ කරන ලද අවස්‌ථාවක හැර අඩු සේවා සැපයුමක්‌ සහිත මුද්‍රණාලයක ජලීය ආලේප කිරීම් දිගින් දිගටම සිදු නොකළ යුතුය.

2. නිෂ්පාදකගේ පිරිවිතර දැඩිව පිළිපැදිය යුතුය.

3. විනාඩි 45 ක්‌ ඇතුළත ක්‍රියාවලිය නවතා වියළීම සඳහා ඉඩ සළසාලිය යුතුය.

4. දෙපැත්තම මුද්‍රණය කරන ජලීය පැවරුම් සඳහා වැඩි අවධානයක්‌ සහ පාලනයක්‌ අවශ්‍යය.

5. පළමු පැත්ත සම්පූර්ණයෙන්ම වියළා සිසිල් කිරීමෙන් අනතුරුව දෙවැනිපැත්ත මත ආලේප කළ යුතුය.

6. දෙවැනි පැත්ත ආලේප කිරීමේදී අඩු දුෂ්රාවි කාචයක්‌ සහිතව අඩු ආලේව ප්‍රමාණයක්‌ භාවිතා කළ යුතුය. සුවිශේෂී නිර්දේශ සඳහා ආලේපන නිෂ්පාදක නිර්දේශයන් නිරික්‌සන්න.

ඉහත විශේෂයෙන් දක්‌වා ඇති නිෂ්පාදක නිර්දේශයන්ට අනුව මුද්‍රණ ක්‍රියාවලිය හෝ මුද්‍රණ තීන්ත භාවිතය සම්බන්ධයෙන් දී ඇති විශේෂ නිර්දේශ තෘප්ත නොකරන ලද විටක හෝ ද්‍රව්‍ය සැපයුම්කරු විසින් අනුමත නොකරන ලද අවස්‌ථාවක්‌ වන්නේ නම් වයස අවුරුදු 12 ක දරුවන්ගේ නිරන්තර පරිහරණය සඳහා වන පෙළ පොත් මුද්‍රණයට මෙම කඩදාසි නිර්දේශ කළ නොහැකි බව නිගමනය කළ හැක.” මෙම කෘත්‍රිම කඩදාසියේ සංයෝගයන් සම්බන්ධයෙන්ද එම වාර්තාව තවදුරටත් කරුණු ඉදිරිපත් කරයි. ඒ අනුව ඇස්‌වල තැවරීම ඉතා උපද්‍රවකාරී වෙයි. 

සමෙහි තැවරීම උපද්‍රවකාරී වෙයි. ඇතැම් සංයෝගයන් අධිග්‍රහණය ඉතාම උපද්‍රවකාරී වන බවද එහි සඳහන්ය. එපමණක්‌ නොව පෙනහළුවලට, ස්‌නායු පද්ධතියට හා ශ්ලේෂ්මල පටලවලටද විෂ සහිත බව එහි සඳහන්ය. පොත මුද්‍රණය කර ඇත්තේ පෞද්ගලික ආයතනයකිනි. ජාතික ප්‍රමිති හා තාක්‌ෂණ ආයතනය ඉදිරිපත් කර ඇති නිර්දේශානුකූලව එම පෞද්ගලික ආයතනය පොත මුද්‍රණය කළ බවට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව සතුව සහතිකයක්‌ තිබේද? පෙළපොත පාසල් දරුවන්ගේ සෞඛ්‍යයට කෙතරම් හිතකර ද යන්න පිළිබඳ වාර්තාවක්‌ පොත මුද්‍රණයට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය ලබා ගත්තේද? 

එසේ නොවූවේ නම් ඊට හේතු කවරේද? පොත මුද්‍රණය සඳහා අදිසි හස්‌තයක බලපෑමක්‌ එල්ල වූයේද? යන ප්‍රශ්න ශේෂ කරමින් කෘත්‍රිම කඩදාසී පෙළ පොත් ලක්‍ෂ පහෙන් ලක්‍ෂ දෙකහමාරක්‌ දැන් සිසුන් අතට පත්වී තිබේ. කුමන බලවේගයකට යටත්ව වුවද මෙම පෙළ පොත මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් හා දරුවන්ට එහි අහිතකර බලපෑම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය රටට පැහැදිළි කළ යුතුය. එහි අන්තරායකාරී අංශු සම්බන්ධ පරීක්‍ෂණ වාර්තා රටට ඉදිරිපත් කළ යුතුය.

ලොව අන් කිසිදු රටක පෙළපොත් මුද්‍රණය සඳහා කෘත්‍රිම කඩදාසි යොදා නොගන්නා බව අමාත්‍යාංශයේ ශක්‍යතා අධ්‍යයන වාර්තාවේම සඳහන් වෙයි. ඊට හේතු කවරේද යන්න සොයනු වෙනුවට වෙනත් කිසිදු රටක නොවන පෙළපොතක්‌ මෙරටට හඳුන්වා දීමෙන් අනාගතයේදී ශේෂ කරුණු ඇත්තේ අංගවිකල ජාතියක්‌ විය හැකිය.

-දිවයින පුවත්පත

No comments:

Post a Comment

Post Bottom Ad