ප්‍රින්ස්ගේ ‘විජිතයෙ ආදරයේ’ ගීතය නව පරපුරේ ගායකයෙක් නිසා ලොකු අමාරුවක වැටිලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

ප්‍රින්ස්ගේ ‘විජිතයෙ ආදරයේ’ ගීතය නව පරපුරේ ගායකයෙක් නිසා ලොකු අමාරුවක වැටිලා

90 දශකයේදී සංගීත ක්ෂේත්‍රයට පිවිස ගීතලෝලීන්ගේ සිහින කුමාරයකු බවට පත් වු ප්‍රින්ස් උදය ප්‍රියන්ත පසුගියදා  සදහටම අපෙන් සමුගත්තා. ප්‍රින්ස් කලක් තිස්සේ රෝගාතුරවෙලයි හිටියේ. 

ප්‍රින්ස් රෝගී වූ මුල් කාලයේ සිටම අප ඔහු සමග හිඳිමින් ඔහුගේ රෝගී තත්ත්වය ගැන පාඨකයන් දැනුම්වත් කළා. ඔහු වෙනුවෙන් උදව් උපකාර කළහැකි ආකාරය ගැන තොරතුරු ගෙන ආවා. කොහොම නමුත් ප්‍රින්ස් අද අප අතර නැතත්, ඔහු වෙනුවෙන් අපට කළහැකි මාධ්‍ය මෙහෙවර අවසන් නැහැ කියලයි අපට හිතෙන්නේ. ඒ නිසයි හැමදාමත් ප්‍රින්ස් සමග සිටි ඔහුගේ සොහොයුරිය වන ශිරෝනි ප්‍රියංගිකා මෙලෙස කතාබහට එක්කර ගැනීමට අප තීරණය කළේ.

ප්‍රින්ස් තවත් කාලයක් ජීවත්වේවි කියලා හැමෝම බලා‍පොරොත්තු වුණා. නමුත්, අද වෙද්දී ඔහු අප අතර නැහැ..?
ඔව්. මම මට පුළුවන් හැම දෙයක්ම මගේ අයියා වෙනුවෙන් කළා. ඒත් මේ වතාවේ ඔහුව බේරාගන්න මට බැරි වුණා.


අවසන් දින කිහිපය ඔහු මොන විදිහටද ගත කළේ..?
අසනීපවෙලා දින 10ක් අයියා රෝහල්ගතවෙලා හිටියා. එයින් එක දවසක් විතරයි ඔහු වාට්ටුවේ හිටියේ. ඊට පස්සේ හුස්ම ගැනීමේ අපහසුතාවය නිසා අයියාව දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. ඒ වෙනකොට ඔහුට සිහි කල්පනාවක් තිබුණේ නැහැ.


ප්‍රින්ස් බොහෝ කාලයක් රෝගාතුර වී සිටියා නේද..?
අයියා අවුරුදු 2ක පමණ කාලයක් අසනීපවෙලා හිටියා. මේ වතාවේ නම් වයිරස් උණ වැළඳුණු නිසයි අයියාගේ රෝගය උත්සන්න වුණේ. මොකද, අයියාගේ ඇඟේ ප්‍රතිශක්තිය ඉතාම අඩුවෙනුයි තිබුණේ.


ප්‍රින්ස්ගේ ප්‍රතිකාර සඳහා තවමත් මුදල් ගෙවා අවසන් නැති බව කියන්නේ ඇත්තද..?
අයියාගේ ප්‍රතිකාර වෙනුවෙන් රෝහ‍ලේ ලක්ෂ 25ක බිලක් තිබුණා. මට ඒ බිල ගෙවා දමන්න මුදල් තිබුණේ නැහැ. අන්තිමේදී බිල ගෙවන්න මාසයක් කල් ඉල්ලාගෙනයි අයියාගේ දේහය නිදහස් කර ගත්තේ. නමුත් ඒ ගැන රෝහලට කිසිදු වරදක් කියන්න බැහැ. රෝහල මීට කලින් 7-8 වතාවක් අයියාව ගොඩ දැම්මා. අයියා වෙනුවෙන් රෝහ‍ලේ කාර්ය මණ්ඩලය පුළුවන් හැම දෙයක්ම කළා. වෛද්‍ය චන්දිම ද මෙල්, වරුසවිතාන යන මහත්වරු ඇතුළු බොහෝ දෙනා අයියා වෙනුවෙන් ගොඩක් උදව් කළා. බිල ගෙවන්න ඕනෑම කාලයක් ගන්න කියලා රෝහලෙන් දැනුම් දුන්නත් මම තමයි මාසයක් තුළ එය ගෙවා දමන්න ‍පොරොන්දු වුණේ. මේ අවස්ථාවේ ඒ සඳහා යම් උපකාරයක් කරන්න කැමැති අයට 0769111838 දුරකථන අංකයට  අමතලා විස්තර දැනගන්න පුළුවන්.


ගතවූ වසර 2 තුළ ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් විශාල මුදලක් වැය කරන්න සිදුවුණා නේද..?
ඔව්, අයියා වෙනුවෙන් අපේ මහ ගෙදර උකස් කළා. මම ජීවත්ව සිටින නිවස, අයියාගේ වාහනය වැනි දේ‍පොළත් උකස් කළා. තවත් ඉඩකඩම් ආදිය විකුණලා මුදල් හොයාගත්තා. අවසානයේ මම ණයකාරියක් වුණා. නමුත් මට ඒ ගැන කනගාටුවක් නැහැ.


ප්‍රින්ස් අසනීප වී සිටින කා‍ලේ ඔහුගේ ගීතවලින් මුදල් හරිහම්බකරගත් ගායකයන්ද සිටියා කියන්නේ ඇත්තද..?
ඒ ගැන මට විශේෂයෙන් කිවයුතු දෙයක් තියෙනවා. නව පරපුරේ එක්තරා ගායන ශිල්පියෙක් දිගින් දිගටම අයියාගේ ගීත වේදිකාවේ ගායනා කරලා මුදල් හම්බකර ගන්නවා. අයියාගේ “විජිතයෙ ආදරයේ” ගීතය තමයි ඔහු වැඩිපුර ගායනා කරන්නේ. අදටත් මේ ගීතය යූටියුබ්වල සෙව්වොත් මේ ගායකයා ප්‍රසංගවලදී ඒ ගීතය ගායනා කරපු හැටි දැකගන්න පුළුවන්. ඒ ගීතයේ අයිතිය මුදලට ගන්න වෙනත් කෙනෙක් කැමැති වෙලා තිබුණා. හැබැයි මේ ගායකයා දිගින් දිගටම එය ගායනා කරන නිසා ඔහු එහි අයිතිය ලබාගන්න කැමැති වුණේ නැහැ. මේ නිසා ප්‍රින්ස් උදය ප්‍රියන්ත පදනම මෙම නවක ගායකයාගෙන් ඇහුවා ඒ ගීතය මිලදී ගන්න කැමැතිද කියලා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කළා. බිලා මැරෙන්න යන ගායකයකුගේ ගීත ගායනා කරනවා කියලා මිනිස්සු තමන්ට බණිනවා කියලත් ඔහු කියලා තිබුණා. මේ ගායකයා අයියගේ මළ ගෙදරටවත් ආවේ නැහැ. ඔහුට යුතුකමක් තිබුණා ඔහු ඒ ගීතය ගයලා උපයන මුදලක් අසරණ වෙලා හිටපු මගේ අයියා වෙනුවෙන් දෙන්න. නමුත් අයියා මිය යන තුරුම ඔහු එවැනි දෙයක් කළේ නැහැ.


ප්‍රින්ස් අද ජීවතුන් අතර නැහැ. මේ විදිහට ගියොත් ඉදිරි කාලයේදීත් ඔහුගේ ගීත සම්බන්ධයෙන් මීටත් වඩා ගැටලු ඇති වේවි නේද..?
මෙච්චර කාලයක් අයියාගේ අසනීපය නිසා මේ අසාධාරණකම්වලට එරෙහිව මට කිසිවක් කරන්න බැරි වුණා. නමුත් දැන් මම නිහඬව ඉන්නේ නැහැ. “විජිතයෙ ආදරයේ” කියන්නේ රූකාන්ත ගුණතිලක මහතා පද රචනා කරලා සංගීතවත් කරපු ගීතයක්. රූකාන්ත මහතා මේ කාරණයේදී අප සමග ඉන්නා බව මම දන්නවා. අයියාගේ අයිතිය වෙනුවෙන් මා වටාත් විශාල පිරිසක් ඉන්නවා. ඒ නිසා අයියාගේ ගීතය තමන්ගේ කරගෙන ගායනා කරන මේ නවක ගායකයාට එරෙහිව ඉදිරි කාලයේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටයි මම හිතාගෙන ඉන්නේ.


ප්‍රින්ස්ගේ ප්‍රතිකාර වෙනුවෙන් ඔහුගේ ගීත දෙකක් විකුණා දැමීමට තීරණය කළ බව ඔබ මීට පෙර ප්‍රකාශ කළා. ඒ ගීතවලට මොකද වුණේ..?
ගීත දෙක කවුරුවත් මිලදී ගත්තේ නැහැ. කොහොමටත් දැන් අයියාගේ ගීතවල අයිතිය අන්සතු නොකරන්නයි මම හිතාගෙන ඉන්නේ. කොහොම නමුත් තවමත් ඒ ගැන අවසන් තීරණයක් අරගෙන නැහැ.


No comments:

Post a Comment

Post Bottom Ad