උණ්‌ඩ කැබළි 6ක් ඇගේ තියාගෙන ජිවත් වෙන සංදීප් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 18, 2017

උණ්‌ඩ කැබළි 6ක් ඇගේ තියාගෙන ජිවත් වෙන සංදීප්

ඉකුත් මැයි මස 9 දා පිළියන්දල නගරය දෙවනත් කරමින් නිකුත් වූ වෙඩි හඬ නිහඬ වී මේ වන විට සති පහක්‌ නික්‌ම ගොස්‌ අවසන්ය. මෙය ලියන මොහොත වන විට ඉන් ඇතිකළ කම්පනය ද බොහෝ දෙනකුගේ සිත්සතන් තුළින් පහව ගොස්‌ අහවරය. පිළියන්දල පදිංචි ඩබ්. පී. රංජිත් සහ සුජීවා යුවලට ඔවුන්ගේ සුරතල් දියණියක්‌ අහිමි කළ අනෙක්‌ දෙදරුවන් වෙඩි වැදී රෝහල්ගත කළ එම අමිහිරි සිදුවීම යළි යළිත් මෙනෙහි කිරීම පවා කම්පනය උපදවන සුළු කරුණක්‌ වුවද මෙම සටහන තබන්නේ කෙතරම් අමිහිරි වුවද ඇතැම් දේ පහසුවෙන් අමතක කළ නොහැකි වන බැවින්ය.

රංජිත් යුවලගේ වැඩිමහල් පුතනුවන් වන කොළඹ තර්ස්‌ටන් විදුහලේ උසස්‌ පෙළ හැදැරීමට මග බලමින් සිටි සංදීප් රුක්‌ෂාන් මසකට ආසන්න කාලයක්‌ රෝහල්ගතව සිට යළිත් සිය නිවසට පැමිණෙන්නේ ඉකුත් 07 වැනිදාය. මාරාන්තික තුවාල සහිතව දිගු කලක්‌ ජීවිතයත් මරණයත් අතර කළ සටනකින් අනතුරුව සංදීප් නැවත පැමිණෙන්නේ තමන් සමගින් සුරතල් වූ සිය වැඩිමහල් නැගණිය පෙනෙන්නට නැති නිවසකටය. ඇගේ හඬ ඇසෙන්නේ නැති නිවසකටය. 

අන් කවරදාකවත් නොතිබුණ පාළු මූසල නිහැඬියාව සංදීප්ට උහුලා ගත නොහැකි තැන ඔහු සිය නැගණිය ඉල්ලා ඉකිබිඳින හඬ මාධ්‍ය මගින් රටට පෙන්වන ලද දර්ශනය බොහෝ දෙනකුගේ දෙනෙත් කඳුලින් තෙත් කළ මොහොතක්‌ විය. ඉන් අනතුරුව බොහෝ දෙනෙක්‌ නැවතත් ඔවුන් පිළිබඳ විපරම් කරන්නට විය. ඔවුන්ව පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳ තතු විත්ති විමසන්නට විය. රංජිත් යුවළ ඇතුළු දරුවන් දෙදෙනාගේ වත්මන් තොරතුරු දැන ගැනීමේ අටියෙන් ඉකුත් දිනක අප රංජිත් මහතා ඇතුළු ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග කතාබහක නිරත විය. 

එහිදී අදහස්‌ දැක්‌වූ රංජිත් මහතා,

“පුතාව පසුගිය හත්වැනිදා ගෙදර එක්‌ක ආව. මම දරුවො තුන්දෙනෙක්‌ව “හොඳ දරුවන්” ලෙස උස්‌ මහත් කළ තාත්ත කෙනෙක්‌. ඒත්… ලොකු පුතාව ටිකට්‌ කපල ගෙදර ගේද්දී එයාගෙ නංගි ගෙදර හිටියෙ නෑ මහත්තය. අද මට දරුවො තුන්දෙනාගෙන් දෙන්නයි ඉන්නෙ. පුතා නංගිව ඉල්ල ඉල්ල නිතරම අඬනව. කෑමක්‌ බීමක්‌ හරියට ගන්නෙ නෑ. මගේ දුව නැතිව අපිටවත් අපේ දරුවො දෙන්නටවත් ආපහු කවදාවත් හිනාවෙලා ඉන්න බැහැ කියල මතක්‌ වෙන කොට තාත්ත කෙනෙක්‌ විදිහට පපුව හිරවෙනව මහත්තය. ඒත් ආපහු අපේ දුව අපි ළඟට එන්නෙ නෑ, දැන් අපිට කරන්න වෙලා තියෙන්නේ මැරි මැරි උපදින ගමන් මේ දරුවො දෙන්න රැකබලා ගන්න එක විතරයි.”

අහිමි වූ දරු දුකෙහි තරම මෙතෙකැයි කියන තරමේ වේදනාවක්‌. රංජිත් මහතාගේ කටහඬෙහි විය. ඔහු තවමත් කම්පනයට පත් වූ මනසින් පසුවෙන තාත්තා කෙනෙකි. සුවපත්ව නිවසට පැමිණි පුතු පිළිබඳව කළ විමසුමට පිළිතුරු දෙමින් ඔහු ප්‍රකාශ කර සිටියේ මෙවැන්නකි.
“පුතාව පහුගිය 9 වැනිදා නැවත කළුබෝවිල රෝහලට ගෙනිහින් වෛද්‍යවරුන්ට පෙන්නුව. වෛද්‍යවරු දරුව පරීක්‍ෂා කරල කිව්ව බයවෙන්න දෙයක්‌ නැහැ කියල.

ඊට පස්‌සෙ තවත්  X-රේ රිපෝට්‌ සහ ස්‌කෑන් රිපෝට්‌ කීපයක්‌ අරන් ඒවත් වෛද්‍යවරු පරීක්‍ෂා කළා. එතනදී වෛද්‍යවරු මට කිව්ව පුතාගේ අක්‌මාවෙ වෙඩි උණ්‌ඩ කොටස්‌ තුනක්‌ ද වකුගඩුවක තවත් පොඩි පොඩි කෑලි තුනක්‌ විතර තියෙනව කියල. ඒව පිටතට අරගන්න බැරිද කියල ඇහුවහම වෛද්‍යවරු කියන්නෙ ඒව ගන්න අමාරුයි හැබැයි ඒකෙන් ශරීරයට හානියක්‌ නැහැ කියල. ඒත් අපිට මගේ දරුවන්ට මෙහෙහ වුණේ නිරපරාදෙ. අපි කාටවත් වෙඩි තියන්නවත් කාගෙන්වත් වෙඩි කන්නවත් හිතා හිටිය මිනිස්‌සු නෙවෙයි. දුව මියගියා. 

පුතයි චූටි දුවවයි වෛද්‍යවරුන්ට පින් සිද්ධ වෙන්න අපිට බේරල දුන්න. මගෙ පුතා හොඳට දුවල පැනල සෙල්ලම් කළ නිරෝගී දරුවෙක්‌. එදත් වෙඩි වදින වෙලාවෙ පුතා රගර් පුහුණුවීම්වල යෙදිල ඇවිත් හිටියෙ. දරුවව රෝහලට ගෙනිච්චෙ රගර් ඇඳුම පිටින්. පහුගිය 15 වැනිද උසස්‌ පෙළ පටන් ගත්ත. ඒත් දරුවට පාසල් යන්න තවම බැහැ. ඔය සිද්ධියෙන් පස්‌සෙ මගේ චූටි දුව ආපහු ඉස්‌කෝලෙ ගියේ පහුගිය සඳුදා ඉදන්. අපි දුක්‌ විඳල මෙතැනට ආව මිනිස්‌සු. බත් පැකට්‌ එකක්‌ විකුණල දරුවො උස්‌ මහත් කළ අම්ම තාත්ත දෙන්නෙක්‌ විදිහට හම්බ කළ හැම සතයම දරුවන්ව සුවපත් කර ගන්න වියදම් කළාට පස්‌සෙ මේ වෙද්දි ජීවත්වෙන්න තරම්වත් දෙයක්‌ අපිට ඉතුරුවෙලා නැහැ.

”මේ සිදුවීමෙන් පස්‌සෙ විඡේදාස රාජපක්‍ෂ ඇමැතිතුමා, පොලිස්‌පතිතුමා රෝහලට ඇවිත් දරුවන්ගෙ දුක සැප බැලුව. වියදමට කියල රජයෙන් රුපියල් ලක්‍ෂ 10 ක්‌ දුන්න. ඊට අමතරව කළුබෝවිල රජයේ රෝහලේ වෛද්‍යවරු හෙද කාර්ය මණ්‌ඩලය ඇතුළු සියලුම අංශ අපිව දැකල එහෙමත් නැත්නම් අපේ දුක දැකල කරපු සේවය මතක්‌ කළ යුතුම වෙනව. ඒ තරම් උපකාරයක්‌ අපිට රෝහලින් සිද්ධ කළා.” දුවගෙ ජීවිතය බේරල දෙන්නත් ඒ අය පුළුවන් තරම් උත්සහයක්‌ ගත්ත. ඒත්… අන්තිමේදි දුව අපිව දාල ගියා. ඒ අහිංසක එකීට එහෙම වුණේ මොන වරදක්‌ කළාට ද මහත්තයෝ.

රංජිත් මහතාට තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳ තව තවත් මතකයන් ඇතත් කිවයුතු දේ බොහෝ වෙතත් ඔහු පවසා සිටින්නේ තමන් වෙතින් උදුරා ගත් දරු සෙනෙහස හෙවත් රමාධි රන්සිකා දියණිය යළිත් නොලැබෙන බැවින් ඒවා පිළිබඳ තව තවත් කතා කිරීම පල රහිත කරුණක්‌ බවය. දැන් ඔහුට ඇත්තේ මියගිය තමන්ගේ දියණියට යහපත් ආත්මයක්‌ ලැබීම පිණිස පින් දහම් කිරීමත් ජීවත්ව සිටින දෙදරුවන් රැකබලා ගැනීම පිණිස තව දුරටත් ජීවත් වීමත් පමණය. එහෙත් සමාජය විසින් එයට ද ඉඩක්‌ නොදෙන බවට රංජිත් මහතා පවසා සිටියේ ඇතැමුන් පිළිබඳ උපන් කලකිරීමෙන් යුතුවය.

“මේ සිද්ධියෙන් පස්‌සෙ සමහරු තැන් තැන්වල කියල තියෙනව මමත් මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කෙනෙක්‌ කියල. මොන හේතුවක්‌ උඩ මොකක්‌ අරමුණු කරගෙන ඒක කිව්වද කියල කියන්න මම දන්නෙ නැහැ. බත් පැකට්‌ එකක්‌ විකුණල ජීවත් වෙච්ච අපට මේ සිද්ධියෙන් එක දරුවෙක්‌ අහිමිවෙනව. පුතාගේ ජීවිතේ බේරුණත් ඒ දරුවගෙ අනාගතය පිළිබඳ අවදානමක්‌ ගන්නවෙලා තියෙනව. එහෙම වටපිටාවක මේ වගේ බොරු බේගල් ඇදබාල මිනිස්‌සු අපෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල අපිට තේරුමක්‌ නැහැ.”

මේ වන විට මව්පිය යුවලක්‌ ලෙස රංජිත් සුජීවා යුවළ මිහිපිට ඉහිළිය නොහැකි දුකක්‌ සේ සලකනු ලබන අහිමි වූ දරු දුක වෙනුවෙන් අනන්ත වේදනා අත්විඳින ලද මවුපිය යුවළක්‌ය. ඔවුන්ගේ අනාගතය වුවද තවමත් අවිනිශ්චිතය. ජීවත්වීම පිණිස කරගෙන යන ලද ව්‍යාපාර කටයුතු මුළුමනින් අඩාල වී ඇත. මේ වන විට ඔවුන්ගේ පිහිටට තනිනොතනියට සිටින්නෙ කවදත් අත නොහැර සිටි ඥති හිතවතුන් පිරිස පමණය. එබැවින් නීතිය විසින් ඔවුන්ට සාධාරණයක්‌ ඉටුකල යුතුය. සිදුවීම පිළිබඳ විධිමත් පරීක්‍ෂණ සිදුකිරීම තුළ ඔවුන්ට යම් සාධාරණයක්‌ ඉටුකළ හැකිය. අවසන් වශයෙන් රංජිත් මහතා ප්‍රකාශ කර සිටියේ නීතිය විසින් තමන්ට යුක්‌තිය ඉටුකරනු ඇති බවය.

ඔය සිද්ධිය හොඳින්ම දැක්‌ක පිරිස අතර මම එක්‌කෙනෙක්‌. දරුවො තුන්දෙනාගෙන් දූල දෙන්නට වෙඩි වදිනව මම ඇස්‌ දෙකෙන් දැක්‌ක. මමයි බිරිඳයි දරුවො දෙන්නව උස්‌සගෙන පාරට පැන්න. දරුවන්ව රෝහලට ගෙනිච්චෙත් මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ පොලිස්‌ නිලධාරියෙක්‌ පදවගෙන ආව ත්‍රීවීල් එකකින්. ඒ වෙලාවෙ පුතාට වෙඩි වැදිල කියල මම දැක්‌කෙ නෑ. එයා මොකුත් නොකිය ඔහේ බලාගෙන හිටිය එක විතරයි කළේ. පස්‌සෙ කඩේ ළමයි තමයි පුතාව පිළියන්දල රෝහලට ගෙනිහින් එතනින් කළුබෝවිල එව්වෙ. මේ සිද්ධිය ඇහෙන් දැක්‌ක මගෙන් තවම හරියට කටඋත්තරයක්‌ ගත්තෙ නෑ. 

එදා පේව්මන්ට්‌ එකේ අඬ අඬා ඉඳිද්දී පොලිසියෙන් ඇවිත් මගෙන් කට උත්තරයක්‌ ගත්තා. මම ඒ අයට කිව්ව මේ වෙලාවෙ මට හරියට කටඋත්තර දෙන්න බෑ පස්‌සෙ ගන්න කියල. නමුත් ඒක සිද්ධ වුණේ නැහැ. කියාගන්න ගොඩක්‌ දේවල් තියෙනව ඒත් කාට කියන්නද කියල ලොකු ප්‍රශ්නයක්‌ අපිට තියෙනව මහත්තය. එසේ පවසමින් ඉහළට ගත් හුස්‌මක්‌ සුසුමක්‌ කොට පිටකළ රංජිත් මහතා සිය කතාබහ හමාර කළේය. ඔහුගේ කටහඬෙහි දුක වේදනාව පමණක්‌ නොව සමාජය කෙරෙහි උපන් කලකිරීමක්‌ද විය. රටක නීතියක්‌ තිබිය යුත්තේත් ඉන් යුක්‌තිය සාධාරණය හිමිවිය යුතුව ඇත්තේත් නිරපරාදේ ජීවිතයේ අසරණ අඩියකට වැටී ඇති රංජිත් වැනි මිනිසුන් වෙනුවෙන්ය.

රුවන් ජයවර්ධන

No comments:

Post a Comment

Post Bottom Ad