ගුවන් යානා 4ක ගිවිසුමක් ආණ්ඩුව කළඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, June 24, 2017

ගුවන් යානා 4ක ගිවිසුමක් ආණ්ඩුව කළඹයි

A 350 - 900  ගුවන් යානා 4ක් නිෂ්පාදනය කර ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවාව විසින් Airbus A.S.A සමාගම සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම හේතුවෙන් රජය බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බව වාර්තා වෙයි.
පසුගිය දා මේ පිළිබඳ අනාවරණය වූ කරුණුවලට අනුව මෙම තත්ත්වය උදා වී ඇත්තේ ශ්‍රී ලංකා ගුවන් සේවාව Airbus A.S.A  සමාගම සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම අවලංගු කිරීමේ යෝජනාවක් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමත් සමඟය. රජයේ ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් එම යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ, අදාළ ගිවිසුම අවලංගු කිරීමට හෝ වෙනත් තීරණයක් ගැනීමට තම අමාත්‍යාංශය අපේක්ෂා කරන බවත් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරන බවත්ය.
කෙසේ නමුත් රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ රාජපක්ෂ පාලන සමයේ මෙම ගිවිසුම ඇති කරගෙන තිබෙන ආකාරය සහ Airbus A.S.A  සමාගම ගිවිසුම අවලංගු කිරීම ප්‍රතික්ෂේප කිරීමත්, ශ්‍රී ලංකා ගුවන් සේවයේ පාලක කොටස්කරු ලෙස ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම සහ මේ වන විටත් එම ගිවිසුම සම්බන්ධව පවතින නෛතික ක්‍රියාවලියත් හේතුවෙන් ගිවිසුම සම්බන්ධව තීරණයක් ගැනීම රජයට දුෂ්කර කාර්යයක් වී ඇති බවය.
ඒ සම්බන්ධව වාර්තා වී ඇති වැඩිදුර තොරතුරුවලට අනුව A 350-900 ගුවන් යානා 4ක් නිෂ්පාදනය කර ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් සේවාව විසින් Airbus A.S.A  සමාගම සමඟ ඇති කරගෙන තිබෙන ගිවිසුම 2013.06.28 අත්සන් කර ඇත. ඊට අනුව එම සමාගම විසින් ගුවන්යානා ලබා දීම 2020 වසරේ දෙවන කාර්තුවෙන් ආරම්භ වන අතර 2021 වසරේ අවසාන කාර්තුවේ අවසන් ගුවන් යානය මෙරටට ලබා දීමට නියමිතය.
අදාළ ගිවිසුමට අනුව ගුවන්යානා බාර දීමේ පූර්ව ගාස්තු ගෙවීම 2013 වසරේ ආරම්භ වී ඇති අතර අවසන් ගාස්තුව ගෙවීමට නියමිතව තිබෙන්නේ 2018 වසරේ දෙසැම්බර් මාසයේදීය. ඒ අනුව ගුවන්යානා මිලදී ගැනීමට යන ඇමරිකන් ඩොලර් 222,356,600.85 ක මුළු මුදලින් ඇමරිකන් ඩොලර් 19,214,638.45 ක පූර්ව ගාස්තුවක් මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය Airbus A.S.A  වෙත ගෙවා ඇත.
එහෙත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගත කිරීමේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්තියේ කොටසක් ලෙස 2015 ජුනි 24 වනදා ගනු ලැබූ අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානා ඇණිය අඩු කිරීමට තීරණය කර ඇති අතර එහි දී A 350-900 ගුවන් යානා මිලදී ගැනීම ප්‍රමාද කිරීම, එය නැවත සාකච්ඡාවට ගැනීම සහ අවලංගු කිරීම යන විකල්ප සලකා බැලීමට ද යෝජනා වී ඇත.
මෙම ගිවිසුම අවලංගු කිරීම සඳහා සාකච්ඡා 2016 නොවැම්බර් මාසයේ ආරම්භ කර ඇති නමුත් එහි දී ගිවිසුම මුළුමනින්ම අවලංගු කිරීමට Airbus A.S.A  එකඟ වී නැත. එසේම 2016 නොවැම්බර් මාසයේ සිට බාර දීමේ පූර්ව ගාස්තු ගෙවීම ද අත්හිටුවා ඇති අතර ගිවිසුමට අනුව තවත් ඇමරිකන් ඩොලර් 679,463.61 ක මුදලක් Airbus A.S.A  වෙත හිඟ වශයෙන් ගෙවීමට ඇත. මෙසේ පූර්ව බෙදාහැරීම් ගාස්තු ගෙවීමට අපොහොසත් වීම සම්බන්ධව Airbus A.S.A  සමාගම සිහිකැඳවීම් සිදුකර ඇති අතර මිලදී ගැනීමේ ගිවිසුම් කඩකිරීම සම්බන්ධව ශ්‍රී ලංකන් ගුවන් සේවයට එරෙහිව Airbus A.S.A  සමාගම කටයුතු කිරීමේ අවදානමක් ද මතුව ඇත.
මේ සම්බන්ධව රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ නීතිපති නිර්දේශ අනුව Airbus A.S.A  සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය පවතින ගිවිසුම අවලංගු කිරීමට රජයට ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදුව ඇති බවත් A 350-900 ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම සම්බන්ධව ජනාධිපති පරීක්ෂණ කොමිසම සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කර ඇති පරීක්ෂණ අවසන් වන තුරු මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට Airbus A.S.A  ප්‍රතික්ෂේප කර ඇති බවත්ය. 

එසේම ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුම අවලංගු කිරීම සඳහා වන මුළු වියදම ද නිර්ණය කර නොමැති බව ද වාර්තා වන අතර මෙම ගිවිසුම සම්බන්ධව කවර ක්‍රියාමාර්ගයක් ගනු ලැබුව ද එය ප්‍රවේශමෙන් ගත යුතු බවත් මෙවැනි මහා පරිමාණ ගිවිසුම් අවලංගු කිරීමේ දී පවා අත යට ගනුදෙනු සිදු විය හැකි බැවින් වඩාත් පාරදෘශ්‍ය ක්‍රමයකට මෙම අර්බුදය විසඳා ගන්නට යොමු විය යුතු බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියි.
කාශ්‍යප කොතලාවල
infosrilankanews.com

No comments:

Post a Comment

Post Bottom Ad