කොළඹට උමං මාර්ග 03 ක් - එක් උමං මාර්ගයක වැඩ අවසන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, June 23, 2017

කොළඹට උමං මාර්ග 03 ක් - එක් උමං මාර්ගයක වැඩ අවසන්

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 3 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් ඉන් එක් උමං මාර්ගයක වැඩ අවසන් කර ඇති බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, දික් ඕවිට, ගංවතුර පාලන ‘දියදොර’ ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි. ඊළග උමං මාර්ග දෙකේ වැඩකටයුතු ආරම්භ කර ඇති බවත් තුන්වෙනි උමං මාර්ගය මට්ටක්කුලිය, මෝදර ප‍්‍රදේශයෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘නාගරික සංවර්ධනය කියලා අපි හුරු පුරුදුවෙලා තිබෙන්නේ විශාල ගොඩනැගිලි ඉදිකරන්න. ඒ වගේම ඇහැට පෙනෙන මල්වතු, උයන්වතු, කෙත්වතු ඇති කරන්න. මේවා ලස්සන කරලා අපි තමයි මේවා ලස්සන කළේ කියන එක හොඳ කටයුත්තක්. අපට පුළුවන් පිටින් ලස්සන කරලා හදන්න. හැබැයි ඒ නගර ඇතුළ කුණු වෙනවා නම්, ඒ නගර ගංවතුරෙන් යටවෙනවා නම්, ඒවා තුළ කුණු කඳු ගොඩගැහෙනවා නම් ඒ නගරවල වාහන තදබදය වැඩිවෙලා වායු දූෂණය වෙනවා නම්, පස දූෂණය වෙනවා නම් එම නගරවල ජීවත්වෙන්න අපට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

“අපි මිනිස්සුන්ගේ ගෙවල්වල සාලේ ලස්සන කරන්න යන්නේ නැහැ. අපේ බලාපොරොත්තුව, වැසිකිළි, කැසිකිළි, කුස්සිය ලස්සන කරන්නයි අපේ බලාපොරොත්තුව. එය ජනප‍්‍රිය නොවෙන්න පුළුවන්. නමුත් එය දිගු කාලීන වශයෙන් අපේ නගරවල සෞඛ්‍ය තත්වයට ඉතාම වැදගත්. මොකද මේකප් දැම්මයි කියලා, නගර වියපත්වෙන එක, ගඳ ගහන එක වලක්වන්න බැහැ. අද අපිට වෙලා තිබෙන්නේ. පිටින් මේකප් දාලා ලස්සන කරපු නගර ඇතුළෙන් වියපත්වෙලා ගඳ ගහන තත්වයට පරිවර්ථනය වෙලා ඒ ගඳ ගහන තත්වයත් එක්ක ජීවත්වෙන්න අද අපට වෙලා තිබෙන්නේ. 

ඒ නිසා අපට අවශ්‍යයි ඇතුළාන්තයෙන් වෙනසක් ඇති කර ගන්න. එහි ප‍්‍රධාන දෙයක් තමයි මේ ගංවතුර ගැටළුව මැඩලීම. පසුගියදා ඇති වූ ගංවතුරෙන් විශාල ආපදාවන්ට මුහුණ පෑමට අපට සිදුවුණා. ඒ නිසා තමයි 2016 ගංවතුරෙන් පසුව අගෝස්තු මාසයේදී විධිමත් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කළා මේ කැලණි ගඟේ, අත්තනගලූ ඔයේ ඒ වගේම ගම්පහ දිස්ත‍්‍රක්කයේ ගංවතුර පාලනය කරන්න විධිමත් වැඩසටහනක් අපි ඉදිරිපත් කළා. එය කැබිනට් මණ්ඩලය පිළිගත්තා. අවාසනාවකට මුදල් අමාත්‍යාංශයෙන් අපට අරමුදල් සම්පාදනය උනේ නැහැ. 

නමුත් අපි එයින් අධෛර්යය පත් උනේ නැහැ. ඒ සඳහා අපි මෙම වසරේ අරමුදල් සම්පාදනය කරගෙන ඒ වැඩපිළිවෙල ආරම්භ කළා. එහි ප‍්‍රධාන අංගයක් තමයි මේ දික් ඕවිට දියදොර. මේ මගින් අපි බලාපොරොත්තු වෙනවා, ගංවතුර ආවහම මෝය කපමින් ගංවතුර බැහැර කිරීමටත්, ගංවතුර බැස ගියහම මෝය ගොඩකිරීමටත් තිත තබා මෙම වසරේදීම ස්ථිර සාර විසඳුමක් මෙම දියදොර මගින් ලබාදෙනවා. ඒ වගේම කැලණිය ප‍්‍රදේශයේ වසරේදීම ආරම්භ කරනවා ජලය පොම්ප කරන වැඩපිළිවෙලක්. 

ඒ අනුව පෑලියගොඩ ප‍්‍රදේශයේ අපතේ ගිහින් තිබෙන අක්කර 200කට ආසන්න පරිසර පද්ධතිය සම්පූර්ණයෙන්ම විධිමත්ව ගොඩනගාගැනීමට අපට හැකිවෙනවා. එසේම කඩුවෙල ප‍්‍රදේශය ජලයෙන් යටවීම වැලැක්වීම සඳහා අඹතලේ පොම්පාගාරයක් මෙම වසරේදීම ඉදිකරනවා. අඹතලේ බැම්ම ශක්තිමත් කිරීම මගින් මුල්ලේරියාව, කොලොන්නාව ප‍්‍රදේශ බේරාගැනීමට කටයුතු කරනවා. එසේම නාගලගන්වීදියේ හරහා දැනට තිබෙන බන්ට් එක වෙනුවට එතනත් ජල පොම්පාගාරයක් ඉදිකිරීමට බලාපොරොත්තුවෙනවා. ඒ සඳහා සියළු කටයුතු මේ වනවිට සම්පාදනය කර අවසන්.“

ඒ වගේම කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා උමං මාර්ග 3 ක් අපි ඉදිකරන්න යනවා. දැන් එක උමං මාර්ගයක වැඩ අපි ඉවර කළා. ඊ ළග උමං මාර්ග දෙකත් දැන් කෙරීගෙන යනවා. ඒ වගේම තුන්වෙනි උමං මාර්ගය මට්ටක්කුලිය, මෝදර ප‍්‍රදේශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙනවා ඉදිරි කාලයේදී. එතනත් අපේ ජනතාව බියවද්දගෙන යනවා. නමුත් ඒ ජනතාව අපට විශ්වාසයි ඒ කි‍්‍රයාව කළාට පස්සේ කොටුව පිටකොටුව ප්‍රදේශය, ඩයස් පෙදෙස, සෝන්ඩස් පෙදෙස, අලූත් මාවත ගංවතුරෙන් නිදහස් ප‍්‍රදේශයක් බවට පත්වෙනවා. 

එය නිදහස් ප‍්‍රදේශයක් බවට පත් උනාහම බ්ලූමැන්ඩල් ඇතුළු ප‍්‍රදේශය අක්කර 15 ක් වරායෙත්, රටෙත් සංවර්ධනයට යොමු වෙනවා. අන්න එහෙමයි අපි වැඩ කරන්නේ. අපටත් පුළුවන් ඔය බ්ලූමැන්ඩල් එකේ උයනක් හදලා මිනිස්සුන්ට ඇවිදින්න කියන්න. ජොගින් ට‍්‍රැක් එකක් හදලා දාන්න. අපි ඒ වගේ වැඩ කරන්නේ නැහැ. ඒ වෙනුවට ආදායම් උපදවන, සංවර්ධනයට දායකවන, එම ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවිත සම්පූර්ණයෙන්ම ශක්තිමත් කරන කොළඹ තිබෙන ප‍්‍රධානම ප‍්‍රශ්නයක් වූ මෙම ගංවතුර උවදුරට පිළියම් යොදන වැඩපිළිවෙලක් අපි දියත් කරනවා.

අපි 2019-20 වෙනකොට මේ කොළඹ අවට ප‍්‍රදේශවල ගංවතුර ගැටළුව සැළකිය යුතු ප‍්‍රමාණයකින් අඩු කරන්න කටයුතු කරනවා.“ යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad