රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, May 23, 2017

රෑ වැඩ ඉවරවෙලා Night Club වලට යන ලංකාවේ කෙල්ලන්ගේ කතාව

ලහි ලහියේ කොළඹ අහස සිප ගන්නා දැවැන්ත ගොඩනැගිලි යනු තවත් දේශීය රැකියා ගණනකට මග පෑදීමක් වනවා සේම මේ වනවිටත් කොළොම්තොට කොන්ක්‍රීට් ජනපදවල බොහෝ ව්‍යාපාරික ස්ථාන හරහා ද දුර බැහැර ජනයාට පවා වයස් භේදයක් නොමැතිව රැකියා උත්පාදනය කර හමාරය. මීට වසර කිහිපයකට පෙර පවා ගමේ ගොඩේ කුඹුරක් හේනක් කුඩා ව්‍යාපාරයක් කළ උදවිය මේ වනවිට ක්‍රමයෙන් කොළඹට සංක්‍රමණය වී ඇත්ෙත් වැඩි වැටුපක් හා රැකියාවේ සුරක්ෂිතභාවයක් උදෙසා මුදල් උපයා ගැනීම පිණිස බව නොරහසකි. 

එම නිසාම කොළඹ හා තද‌ාසන්න ප්‍රදේශ සියල්ලෙහිම පාහේ “බෝඩිම්” දැක ගැනීමට ඇත. තමා උපන් ගම රට හැර දමා නගරයේ රැකියාව පිණිස පැමිණ බෝඩිම් ජීවිතය ගත කරන කොල්ලෝ කෙල්ලන්ගේ ජීවන රටාව තරමක් වෙනස්ය. බෝඩිම නිසා නොව කොළඹ සමාජයේ අසම්මත සංස්කෘතියට වහල් වුණ තරුණ ජීවිත අද හිස්බවට පත්ව තිබෙන්නේ සාක්කුව ද හිස්කර ගනිමිනි. කලකට පෙර සුන්දර ජීවිත ගත කළ මුත් අද වනවිට නිස්සාර ජීවිත ගෙවන බෝඩිම්කරු/කාරියන් ගැන වූ ගවේෂණයකි.

කොළඹ ප්‍රසිද්ධ ආයතනයක සේවය කරන මධුෂාණි යනු බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඉපිද, හැදී වැඩී රැකියාව පිණිස කොළඹට ආසන්නයේ බෝඩිම් වී සිටින යෞවනියකි. තරමක් චකිතයකින් හා දෙමව්පියන්ගෙන් වෙන්ව සිටීමේ දුකෙන් බෝඩිමට පැමිණි මුල් මාස දෙක ගෙවා දැමුවේ මව්පියන් පැමිණ මැයව බෝඩිමට හැරලූ පසුවය. දණහිසටත් පහළින් ඇඳුම් ඇඳීමට පුරුදු වී සිටි ඇය ගතවූ වසර තුළ සමස්ත ජීවන රටාවම වෙනස් කර ගෙන හමාරය. මැයගේ වෙනසට හේතුව මැයගේ යහළු යෙහෙළියන් බව ඇය පැවැසුවේ දැඩි කනස්සල්ලෙනි. 


ක්‍රමයෙන් මාස හතරක් පහක් යනවිට මැය තරමක් කොට ගවුම් ඇඳීමටත්, කොණ්ඩය නවීන විලාසිතාවට අනුව හැඩ ගස්වා ගැනීමටත් අමතක නොකළාය. කෙසේ හෝ මසකට රුපියල් දස දහසක් පමණ ඇගේ රූප හා කේෂ අලංකරණ සඳහා වැය කිරීමට සිදුවී ඇති අතර අනිවාර්යයෙන් වැටුපෙන් අලුතෙන් ඇඳුම් දෙකක්වත් මසකට ඇය මිලදී ගැනීමට පුරුදුව ඇත. කෙසේ හෝ ඇගේ වැටුපෙන් ගෙදරට යැවීමට තරම් මුදලක් ඉතිරි නොවන්නේ සති අන්තවල මිතුරියන් සමග සුපිරි අවන්හල් හා සාප්පු සවාරිවල නියැලෙන හෙයිනි. කෙසේ නමුත් ඇයගේ ජීවන රටා වෙනස් වීම ගැන ඇගේ මව්පියන් තවමත් දැනගෙන නොමැත. 

මන්ද මාස දෙකකට පමණ වතාවක් ඇය ගමේ යනවිට පුහු ආටෝප නොමැතිව සරල ලෙස ඇය එහි යන අතර නගරයේ සුපිරි ජීවිත නම් මාෆියාවට ඇය බිලිවී ඇති බව ඇයගේ ගමේ නෑ හිතමිතුරන් පවා දන්නේ නැත. කොළොම්තොට ජීවිතය පිළිබඳ එතරම් වැටහීමක් නොමැති ඇගේ මව්පියන් ඇය පිළිබඳ දහසකුත් සුබ සිහින ගොඩනගා ඇති බව නිසැකය. මධුෂාණි කොළඹට අනුව වෙනස් වුවත් ඇයගේ ජීවිතයට තවමත් නරක ගති පැවතුම් ඇතුළුවී නැත. එනම් සිගරට් හා මත්ද්‍රව්‍ය/මත්පැන් සහ සල්ලාල ජීවිතයයි. නමුත් මහනුවර ප්‍රදේශයේ සිට පැමිණි නවංගි යනු යොවුන් වියේම පරව ගිය තරුණියකි. 

ඇයට කොළඹ පිළිබඳ යම් උණක් තිබූ අතර බෝඩිමට පැමිණි ඇය ආ දිනයේ පටන්ම කොළඹ සංස්කෘතියට හැඩ ගැසුණි. ඉතාමත් කෙටි ඇඳුම් පලඳින ඇය මේ වනවිට බියර් සහ සිගරට් පානයට දැඩිව යොමුවී ඇත. ඇගේ බැංකු ජීවිතයේ සිටින යහළුවන් ඉහළ පෙළේ ජීවිත ගත කරන්නාක් මෙන් මැය ද ඔවුන් හා කරට කර යමින් ශෘංගාරාත්මක ජීවිතයකට හුරු වී සිටිති. පෙම්වතුන් දෙතුන් දෙනකු ආශ්‍රය කරන ඇය සමහරවිට ඔවුන්ව සති අන්තයේ තම බෝඩිමට පවා ගෙන්වා ගනියි. බැංකුවේ තිබෙන සාදවලදී ඇය හොඳහැටි බියර් පානය කරන අතර ගිය වසර අවසාන සාදයේ ඇයව ගෙදර යැවීමට වාහනයට ගෙනගියේ ආරක්ෂක නිලධාරිනියන් සතරක් මගිනි. 

දිනකට අවම වශයෙන් සිගරට් දෙකක්වත් පානය කරන ඇයගේ වැටුපේ කිසිදු ඉතිරියක් නොමැත. තමා හා සිටින පෙම්වතුන්ගේ සාක්කු පවා හිස් කරන ඇයගේ මේ සල්ලාල ජීවිතය පසුගිය මස මව්පියන්ට දැනගැනීමට ලැබුණේ ඇයගේ බෝඩිමේදීය. මේ වනවිට ඇය ජීවිතයෙන් ආපසු ගොඩඒමට බැරි වන තරමට එම සමාජයට ඇබ්බැහි වී සිටින බැවින් අැගේ මව්පියන් ද ඇයව ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ දරන බව අප ද දැනගත්තේ මනෝවිද්‍යා උපදේශන සේවයක් මගිනි. මෙලෙස ගමේ තරුණියෝ බොහොමයක් මේ ගෙන්දගම් පොළවේදී වෙනස් වී සිටිති. ගමේ තිබූ අහිංසක සුන්දර බව නගරයේ විලාසිතා හා සමාජ රැල්ලට හසුව නැතිවී ගොසිනි. 

අප සොයාගත් කරුණුවලට අනුව කොළඹට ආසන්න ප්‍රසිද්ධ ආයතනයක රාත්‍රී වැඩමුරවල සේවය කරන තරුණියන් ඔවුන්ගේ රාත්‍රී 12 වැඩ මුර ඉවර වූ පසු සමාජශාලාවලට යන්නේ. සෙසු මිතුරු මිතුරියන් සමගිනි. පිටරට සංස්කෘතියට අනුව කණ්ඩායම් එකතු වීම් සාමාන්‍ය වුවත් මෙරට පවා මේ නොදකින නගරයේ එවැනි ක්‍රියාකාරකම් වන බව සමහරුන්ට නොරහසකි. මත්ද්‍රව්‍ය හා කාමය යනු එම ජීවිතවල රඳ‌ා පැවැත්ම වී ඇත. සමහර තරුණියන් සමාජශාලාගතව නැවත බෝඩිම කරා පැමිණෙන්නේ තරුණයන්ගේ ආධාර ඇතුවය. කෝට්ටේ ආසන්න බෝඩිමක සිටින දුෂාන් යනු ඉතාමත් දුර බැහැර සිට පැමිණි තරුණයෙකි. 

තම ආයතනයේ ක්‍රීඩා ඉසව්වලින් නමක් දිනා සිටින දුෂාන් උපයන වැටුප තම ජීවිතය පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් නොවීය. එම නිසාම ඔහු ගංජා පානයට හා අමතර ආද‌ායම් මාර්ගයක් බවට පත්කර ගන්නේ ඔහු මීට පෙර ගංජා මිලදී ගත් ජාවාරම්කරු මගිනි. වර්තමාන ලංකාව තුළ කේරළ ගංජා පිළිබඳ කොතෙක් පුවත් තිබුණ ද පොලිස් පොත්වල ලියවුණ ද තවමත් ඕනෑම වේලාවක ඕනෑම ස්ථානයකින් රහසිගත මාර්ග හරහා කේරළ ගංජා (KG) මිලදී ගත හැක. මෙය වෙළඳපොළේ හැඳින්වූයේ කේජී (KG) ලෙසය. දුෂාන් කරන්නේ මේවා තොග ලෙස මිලට ගෙන ඒවා නිසි පරිදි සාද‌ා දන්නා මාර්ගවලින් හොඳ මුදලක් මත අලෙවි කිරීමයි. 

කේරළ ගංජා කලවම්කර සාද‌ා ගන්නා දුම්පානයේ බහුලව තිබෙන්නේ රසායන ද්‍රව්‍ය වේ. මදුරු දඟර පවා කුඩු කර දමා KG සිගරට් සාදන බව ඔබ අපට පුදුමය දනවන සුලුවුවත් කොළඹ තරුණයෝ බොහොමයක් එය හොඳින් දනිති. මදුරු දඟර හා කේරළ ගංජා සමග තවත් රසායනික ද්‍රව්‍ය යොද‌ා සිගරට්ටුවක් ලෙස සාදන අතර එය පානය කරනවිට අවට දැඩි දුර්ගන්ධයක් පවතියි. එලෙසම එම එක් සිගරට්ටුවක් තුන් හතර වතාවක් පානය කිරීම මත්වතුරින් මත්වීමටත් වඩා ප්‍රබල බව අප එම පාවිච්චි කරන බොහොමයකගෙන් දැන ගත්තෙමු. 

කෙසේ හෝ බෝඩිමේ ජීවිතය දුෂාන් මෙම අමතර ආද‌ායම් මාර්ගයට කදිම තෝතැන්නක් වී ඇති අතර මීට මසකට පෙර ඔහු රුපියල් ලක්ෂ ගණනක් වටිනා යතුරුපැදියක් පවා මිලදී ගත්තේ එම මුදලිනි. බෝඩිම් ජීවිත ගත කරන බොහෝ තරුණයෝ මත්ද්‍රව්‍ය හා මත්පැන්වලට ඇබ්බැහි වෙති. විශේෂයෙන් බෝඩිම් මිතුරන් සිටින පුද්ගලයන් සතියේ දිනවල පවා කටගැස්මකට එකතු වන්නේ බෝඩිම් මිතුරාගේ ඉසව්වේය. ඔහුට ද හොඳ හැටි බොන්නට දී කන්නට දී හතර ගාතෙන් වැටෙන තුරු අවට කරදරයකින් තොරව මත්ලෝලී ජීවිතයක් ගතකරන්නට බොහෝ බෝඩිම්කාරයන් පුරුදු වී ඇත. 

ඇතැම්විට ඔවුන් සේවය කරන ආයතනයේම වෙනත් අංශවල පවා බෝතල් පාටිවලදී මුණ ගැසෙන්නේ බෝඩිම්කාර මිතුරන්වය. සමහරු ඔවුන්ට රුපියල් දහස දෙදහස පවා ලබා දෙති. එම නිසාම සමහර තරුණයයෝ තනිවම ජීවත් වන තම බෝඩිම මෙලෙස දන්නා හිතුවතුන්ගේ බෝතල් සාදවලට ලබාදී මසකට හොඳ මුදලක් උපයා ගනිති. නමුත් එම සාදවලට ඇබ්බැහි වුණ ඔවුන්ගේ ජීවිත හිස් බවට පත් වන්නේ මත්කුඩු වැනි ඇබ්බැහිවීම්වලට සියලුම මුදල් වියදම් කිරීමට සිදුවන හෙයිනි. මාතර සිට පැමිණි තරුෂි යනු උඩුමහල් නිවසක බෝඩිම් වී සිටින තරුණියකි. 

ඇගේ බෝඩිමේ තවත් මිතුරියන් දෙදෙනකු නැවතී සිටින අතර ඔවුන් තිදෙනා එකිනෙකාට වෙනස් ස්ථානවල රැකියාවන්හි නියුතු වන්නෝ වූහ. තරුෂි තරමක් සංවර බවින් සිටිය ද අනෙක් දෙදෙනා ඉතාමත් කෙළිලොල් ලෙස කල් ගෙවූහ. ඔවුන් දෙදෙනාටම පෙම්වතුන් සිටිය අතර ඇතැම් දිනවලදී සවස් යාමයේ තරුෂි නිවසට යළි පැමිණෙන විට ඇතැමකුගේ පෙම්වතුන් බෝඩිම් කාමරයෙන් පිටව යන බව දැක ඇත. කෙසේ හෝ අනෙක් මිතුරියන් දෙදෙනා දිනපතාම පාහේ බියර් පානය කරන බව තරුෂි දැනගත්තේ හදිසියේ එකකුගේ කාමරයට ගොඩවූ විටය. කෙසේ හෝ ඔවුන් තරුෂිට බලහත්කාරයෙන් බියර් පොවා ඇත. 

පසුව ඔවුන්ගේ ජීවන රටාවත් මුදල් ඉපයීමේ ආකාරයත් තොරතුරු බෙද‌ා ගත්හ. එක් මිතුරියක් අන්තර්ජාලය හරහා කොල්ලන් හා සබඳතා ගොඩනගා ගනිමින් සිටියාය. අනෙකා සති අන්ත සහ සමහර දිනවල කොළඹ සමාජශාලාවක නෘත්‍යාංගනාවක් ලෙස සේවය කරයි. සිගරට් පානයට පවා ඇබ්බැහි වී සිටින මොවුන් තරුෂිට හීන ලෝකයකට පවා යෑමට මග කියා දුණි. කෙසේ හෝ දින, සති, මාස ගතවනවිට තරුෂිත් ඔවුන්ගේ බේබදු චර්යාවන්ට පුරුදු වූවා පමණක් නොව ඇය අන්තර්ජාලය හරහා වංචනික ලෙස කොල්ලන් රවටා මුදල් උපයා ගැනීමට තරම් දක්ෂ වූවාය. 

ශරීරය විකුණන බව පවසමින් වීඩියෝ ඇමතුම් හරහා තම අඩ නිරුවත පෙන්වමින් කොල්ලන්ව වසඟයට ගෙන දුරකථන මුදල් හුවමාරු ක්‍රම මගින් මසකට සැලකිය යුතු මුදලක් උපයා ගත්තාය. කෙසේ හෝ තරුෂිට මෙම සෙල්ලම වැඩි කාලයක් කරගෙන යාමට නම් නොහැකි වුණි. ඇයගේ ඥ‌ාති සහෝදරයකුටම ඇය වීඩියෝ ගනුදෙනු කරනු බව නොදැන ඔහුගේ අතටම තරුෂිගේ කැරැට්ටුව හසුවුණි. එම නිසාම කොළොම්තොට බෝඩිම් ජීවිතයේ අසම්මත ජීවන රටාවේ ගැඹුරට ගිය තරුෂිව ගොඩගැනීම සඳහා මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ගේ පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු කරන ලදී.

තරුණයන් බොහොමයක් කුමන හෝ කුඩා ඉඩක වුව තම බෝඩිම් ජීවිතය ගත කිරීමට හැකි පිරිසකි. එම නිසාම ඔවුන්ට අසීමිත නිදහසක් භුක්ති විඳීමට හැකි වේ. ඇතැම් තරුණයෝ තනිවම සිටින නිසා දිනපතාම පාහේ තම බෝඩිමේ සිට මත්පැන් පානය කරන්නටත් අසභ්‍ය වීඩියෝ දර්ශන බැලීමටත් පුරුදුව සිටිති. අප දැනගත් තවත් කරුණු අතර නිවසක් කුලියට ගෙන සිටින මිතුරන් දෙදෙනකු එකම ආයතනයේ මුර සේවා දෙකක සේවය කරන බැවින් දිවා කාලයේ හා රාත්‍රී කාලයේ සිටින තැනැත්තා එම නිවසේ තිබෙන කාමර පෙම්සුව විඳිනු පිණිස කුලියට දීම සිදු කරයි. 


කිසිදු වයස් භේදයක් නොතකමින් හඳුනාගෙන කතිකා කරගත් තුන්රෝද රියදුරන් මාර්ගයෙන් එම කාමර රුපියල් දෙදහසක පමණ මුදලට කුලියට දෙන්නේ හෝරාවකට දෙකකට යන ගිවිසුමටයි. නීතිවිරෝධී මාර්ගවලින් බෝඩිම් ජීවිතය තුළ මුදල් ඉපයීමට වෙර දරන අතර බොහෝ පිරිසක් එක් එක් වර්ගයේ දුරාචාරවලට අබ්බැහි වී තම පොකට්ටුව හිස්කර ගනිති. ඉතාමත් සීමිත පිරිසක් තම ගම් බිම් හැරදමා කොළඹ ගෙන්දගම් පොළවේ හැපි හැපී රැකියාවේ නියුතුව මුදල් උපයා ගැනීමට මෙන්ම ඉතිරි කර ගැනීමට ද උත්සාහ කරයි. නමුත් එම ඇතැමුන් ද සමාජයේ පවතින වෙළෙඳපොළ අලෙවිකරණ උපක්‍රමවලට රැවටී තම මුදල් අවභාවිතයට පත් කරති. 

ඇතමෙක් දිනපතා තුන් වේලම කඩ කෑමෙන් ජීවත් වීම විවිධ කායවර්ධන හා සමාජ සංගම්වලට එකතු වී එම ක්‍රියාවලට මුදල් ලබා දෙමින් ද තුන්රෝද රථවල කුලී ගමන් යාමෙන් ද අලස බව තුළ කල් ගෙවති. අවසාන වශයෙන් අප සමාජ ජීවන අත්දැකීම බෙද‌ා ගත් මහරගම කාවින්දි අපට පැවැසුවේ, “අපි ජීවත් වුණු ගමේ රැකියා නැති නිසයි මේ කොළඹ ආවේ. මේ විච්චූරණ දැකලා අපෙත් හැඟීම් සිතුම් පැතුම් වෙනස් වුණා. ඒසී කාමරවල වැඩ කරනකොට ගමේ වගේ අඳින අපිව නිකන්ම කොන් වෙනවා. ඒක නිසා අපිටත් කොට ගවුමට පුරුදු වෙන්න වුණා. යාළුවො සති අන්තවල එහෙ මෙහෙ යද්දි සල්ලි වියදම් කරද්දි අපිටත් ඒ දේ කරන්න වුණා. 

එයාලට ඒවා සාමාන්‍ය දේවල් වුණාට මට එහෙම වුණේ නෑ. අන්තිමට මම ගෙදර ආවේ ජීවිතේ ගැන ගොඩක් කලකිරිලා. මට අම්මාලට මුහුණ දෙන්නත් බැරි වුණා. කොණ්ඩේ පාටකරලා, ෙෆ්ෂල් කරලා, කොට කලිසම් ඇන්ද මම අද ආයෙත් මගේ පරණ ගමටම වෙලා ඉන්නවා. මට බාහිර උපාධියක් තිබ්බත් අද මම ගමේ ස්වයං රැකියා ස්ථානයක වැඩ කරනවා. බෝඩිම් ජීවිතේ ඉඳලා හම්බකරන හැම සතේම අපිටත් හොරෙන් වියදම් කරනවාට වඩා ගමේ පොඩි රස්සාවෙන් හම්බවෙන සල්ලිවලින් අපිට ඉතිරියක් හරි වෙනවා” කියාය.

සටහන
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු

No comments:

Post a Comment

Post Bottom Ad