‘ජනපති මෛත‍්‍රී හමුවෙලා ෂේප් වෙමු’ ප‍්‍රසන්නට ආරාධනා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, April 23, 2017

‘ජනපති මෛත‍්‍රී හමුවෙලා ෂේප් වෙමු’ ප‍්‍රසන්නට ආරාධනා..

තම පියා වන රෙජී රණතුංග කිසි දිනෙක තනතුරු පසුපස නොගිය බවත් එවන් කතා කියා තම පියට අගෞරව නොකරන්නැයි ඉල්ලා සිටින බවත් ඒකාබද්ද විපක්‍ෂයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු මෙසේ කියා සිටියේ ඊයේ මිනුවන්ගොඩ, උඩුගම්පොළ රෙජී රණතුංග සමරු සම්න්ත්‍රණ ශාලාවේ දී පැවැති දිවංගත රෙජී රණතුංග මහතාගේ 80 වැනි ඡන්ම දින සමරුවට ගුණ සමරු උත්සවය අමතමිනි.

මන්ත‍්‍රීවරයා එහිදී මෙසේද කීය.

‘රෙජී රණතුංග මහතාගේ ඡන්ම දින සමරු උත්සවයට මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ගෙන්වන්නට ලැබීම ගැන මම සතුටු වෙනවා. සමහරුන්ට අමතක වුණාට රෙජී රණතුංග මහතාගේ පළමු ගුණ සමරු උත්සවය පැවැත්වූයේ එවකට ජනාධිපති වශයෙන් කටයුතු කරපු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදියි.

මගේ දේශපාලන ගුරුවරයා වුණේ මගේ පියා. මම කුඩා කාලයේ උසස් පෙළ කරලා රෙජී මහත්තයා එක්ක මහගෙදර තනි කාමරේ තමයි දේශපාලන ගමන ආරම්භ කළේ. 1977 මේ ගෙවල් ගිනි තිබ්බම හැමෝම හිතුවා රණතුංගලා ඉවරයි කියලා. නමුත් මගේ මෑණියන් පවුලේ කටයුතු කරනකොට රෙජී රණතුංග මහතා මැදිහත් වුණේ මේ මිනුවන්ගොඩ ආසනයේ ජනතා සේවයටයි.

එතුමාට එක්සත් ජාතික පක්ෂයෙන් පමණක් නෙමෙයි අපේ ආණ්ඩුවෙනුත් අසාධාරණකම් වුණා. මම 1993 පළාත් සභා මැතිවරණයට ඉල්ලපු කාලයේ චන්ද්‍රිකා මහත්මිය මට කිව්වා ප්‍රසන්න දැන් තාත්තා වයසයි, ඔයා පාර්ලිමේන්තු ඉල්ලන්න කියලා. මම එතුමියට කිව්වේ මිනුවන්ගොඩ ජනතාව දන්නේ රෙජී ගැන මිසක් ප්‍රසන්න ගැන නෙමෙයි, මම තාත්තා ජිවතුන් අතර ඉන්නකම් පාර්ලිමේන්තු ඉල්ලන්නේ නැහැ කියලයි.

අද පාර්ලිමේන්තුවේ ඉන්න ජ්‍යෙෂ්ඨයෝ බොහෝ දෙනා මම පළාත් සභාවල ඉන්නකොට පළාත් සභාවකවත් හිටපු නැති අයයි. මම හැමදාම පළාත් සභාවේ හිටියේ සතුටෙන්. මම මේ පාරත් පාර්ලිමේන්තු ඉල්ලන්නේ නැහැ මහින්ද මහත්තයා නොවෙන්නට. එතුමා පරාජය වුණාම මම තිරණය කළා වරදාන, වරප්‍රසාද අතහැරලා එළියට බහිනවා කියලා. මගේම පවුලේ අයම මට කිව්වා මෛත්‍රී හමුවෙලා ෂේප් වෙමු කියලා.

රෙජී රණතුංග මහත්තයා 1994 ඡන්දය ඉල්ලන කොට චන්ද්‍රිකා මැතිණිය අපේම පක්ෂයෙන් සුරවීර මහත්තයවත් මිනුවන්ගොඩ ආසනයට දැම්මා. දෙන්නම දිනුවා. සුරවීර මහත්තයාට නියොජ්‍ය ඇමැතිකමක් ලැබෙන කොට රෙජී මහත්තයාට ලැබුණේ නැහැ. අපි හිතුවා කමක් නැහැ කියලා. චන්ද්‍රිකා මැතිණිය රෙජී මහත්තයට සැලකුවේ නැහැ. චන්ද්‍රිකා මැතිණිය වරක් තාත්තට ආණ්ඩුකාරකම් දෙන්න එන්න කියලා එතැනට ගියාම ඒක නොදී ඇරියා.

නමුත් රෙජී මහත්තයා කවදාවත් තනතුරු පස්සේ ගියේ නැහැ. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලෙත් එතුමට හිරිහැර වුණා. නමුත් කිසිදේකට සැලුණේ නැහැ. ඊයෙත් එල්. ටි. ටී. ඊ එකට කඩේ ගිය එක් මාධ්‍ය ආයතනයක් මාව හමගහනවා. මම දොම්පේ කසළ විරෝධතාවට ගිහින් කඳුළු ගෑස් කෑවා. ඒකත් එක්ක මම බනින එකක් පෙන්නනවා. බැනලා මදි. බයේ දේශපාලනය කරන්න අපි සුදානම් නැහැ.

‍රෙජී මහත්තයාගේ දේශපාලන ගමන දන්නේ නැති අය එක එක කතා කියනවා. අපි ඒවා ගණන් ගන්නේ නැහැ. රෙජී මැතිතුමාගේ ආශිර්වාදය අපට තිබෙනවා. නැත්නම් ප්‍රසන්න රණතුංගට 386,000ක් මනාප ලැබෙයිද? තනතුරු දෙන්නේ නැහැ කියලා රෙජී මහත්තයා කලකිරිලා හිටියා කියන අයට මම කියන්නේ මගේ තාත්තා කවදාවත් තනතුරු පස්සෙන් ගිය කෙනෙක් නෙමෙයි. ඒ හින්දා ඒ වගේ කතා කියලා තාත්තට අගෞරව කරන්න එපා’

කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා,

‘රෙජී රණතුංග කියන දේශපාලන නායකයා සමඟ අපි පාර්ලිමේන්තුවේ වැඩ කළා. එතකොට එතුමා ජ්‍යෙෂ්ඨ නායකයෙක්. අපි පසුපෙළ තරුණ මන්ත්‍රීවරුන්. පාර්ලිමේන්තුවේ දී එක්සත් ජාතික පක්ෂය සහ අපි අතර ප්‍රශ්න මතු වෙනවා. ආණ්ඩුවක් තියෙන කොට සිංහයෝ වෙන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් නැති වුණාම නරි වගේ. ඔවුන් ආණ්ඩු තියෙන කොට බලය අසීමිත ලෙස භාවිතා කරනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි රෙජී රණතුංග මහත්තයාට ඉන්න තැන් නැති වෙලා කුඩාරමක් ගහගෙන ඉන්න වුණේ. එක් වතාවක් පාර්ලිමේන්තුවේ කලබලයක් ඇති වුණාම පාර්ලිමේන්තුවේ කාපට් එක උඩට එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රිවරයෙක්. මේ වගේ අවස්ථාවක මුහුණ දෙන්න යන්නේ තරුණ මන්ත්‍රිවරුන්. ජ්‍යෙෂ්ඨයෝ එන්නේ නැහැ.

අපි එදා එහෙම ප්‍රතිප්‍රහාර දෙන්න දුවගෙන එනකොට මට පේනවා අපිටත් ඉස්සරහින් රෙජී රණතුංග මැතිතුමා දුවගෙන එනවා. යමන් මල්ලි, එහෙම ගහන්න පුළුවන්ද අපේ අයට කියලා ලොකු ශක්තියක් දුන්නා. එතුමට තරුණ මන්ත්‍රිවරුන්ගේ අදහස් තේරුම් ගන්න පුළුවන්කමක් තිබ්බා. අපිව තේරුම් ගන්න පුළුවන් නායකයෙක් තමයි රෙජී රණතුංග කියන්නේ.

2015 ජනවාරි මාසේ 09 වැනි දා මහින්ද රාජපක්ෂ මහත්තයා අරලියගහ මන්දිරයෙක් ඉවත් වෙලා මැදමුලනට යන වෙලාවේ රෙජී රණතුංග මහතා ජීවතුන් අතර හිටියා නම් එතුමා ගන්නේ මහින්ද මහත්තයාගේ පැත්ත බව ඉර හඳ පායන එක වගේ විශ්වාසයි. එතුමා තනතුරු, වරප්‍රසාද, වරදානවල තමන්ගේ දේශපාලන චරිතය පාවා නොදුන් නායකයෙක්. ඒ නායකයාගේ ගමන් මඟම යන්න පුළුවන් ප්‍රසන්න රණතුංග අපට ඉන්න එක සතුටක්’

මහා සංඝරත්නයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, හිටපු නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත්න, පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෙරිල් පෙරේරා, සහන් ප්‍රදීප්, ආනන්ද හරිශ්චන්ද්‍ර, කෝකිලා ගුණවර්ධන, ලලන්ත ගුණසේකර මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

– ප‍්‍රදීප් අනුර කුමාර

No comments:

Post a Comment

Post Bottom Ad