කුලියට සිටි රූමතිය දූෂණය කරපු... කෝටිපතියාට ඇප

22 හැවිරිදි රූමත් එක්‌දරු මවකගේ කටබැඳ අමානුෂික ලෙස බලෙන් ඇය දූෂණය කිරීමේ චෝදනා ලබා සති තුනක්‌ රිමාන්ඩ් භාරයේ පසුවූ කෝටිපති උළු මෝල් හිමියාට තරයේ අවවාද කළ මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා එම සැකකරු රුපියල් විසිලක්‌ෂ පනස්‌දහසක මුදල් සහ ශරීර ඇප මත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට නියෝග කළේය. මුදල් ඇපය රුපියල් 50,000 ක්‌ වන අතර ශරීර ඇපය රුපියල් ලක්‍ෂ 20 කි.

දූෂණයට ලක්‌කළ බව කියන කාන්තාව වසර දෙකක කුඩා දරුවකුගේ මවක්‌ වන අතර එම දූෂණ සිද්ධියේ දී දරුවා පසෙකට වීසිකර දමා ඇති බව අනාවරණය විය. මෙහි පැමිණිල්ල මෙහෙය වූ කොච්චිකඩේ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්‌ථානාධිපති මහින්ද ගුණසේන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල අනුව මෙහි සැකකරු වූයේ රාගම, තේවත්ත පාරේ පදිංචි රත්ගම ගුරුගේ දීප්ති රොවින්ද සිල්වා නමැති 48 හැවිරිදි දෙදරු පියකු වන කෝටිපති ව්‍යාපාරිකයෙකි. මොහුගේ බිරිඳ නීතිඥවරියකි.

මොහුට අයත් කොච්චිකඩේ, දළුවකොටුව ජනපද මාවතේ පොල් වතුයායක්‌ ඇත. එම පොල් වතුයායේ කුලී නිවසක මෙම අතවරයට පත් රූමත් කත තම සැමියා සමඟ පදිංචිව සිටී. මෙම සිද්ධිය වූ දින දවල් සැකකරු දළුවකොටුවේ පිහිටි තම පොල් වත්තට පැමිණ ඇත. එම අවස්‌ථාව වන විට මෙහි පැමිණිලිකාරියගේ සැමියා රැකියාවට ගොස්‌ ඇති අතර නිවසේ සිට ඇත්තේ එම රූමත් කත පමණි.

එහිදී එම නිවසට ගිය සැකකරු අදාළ කාන්තාවට නොමනා යෝජනාවක්‌ ඉදිරිපත් කළත් ඇය එය තරයේ ප්‍රතික්‌ෂේප කොට ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ. ඉන් කෝපයට පත් සැකකරු පැමිණිලිකාරියගේ කට බැඳ ඇය අමානුෂික ලෙස දූෂණය කළ බව පැමිණිල්ලේ සඳහන් වේ. මෙහිදී විත්තිය වෙනුවෙන් කරුණු දැක්‌වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරණායක මහතා සැකකරු දිගු කලක්‌ රිමාන්ඩ් භාරයේ පසුවන බවත්, එම සිද්ධියේ විමර්ශන කටයුතු නිමවී ඇති බවටත් කරුණු දක්‌වමින් සැකකරුට ඇප ලබාදෙන ලෙසට ඉල්ලා සිටියේය.

මෙහිදී විත්තිය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ඉන්දික සිල්වා, ඉන්දික අබේසිංහ, චරිත ඩී. ජයනාථ යන මහත්වරුන් ඇතුළු විශාල නීතිඥ මඬුල්ලක්‌ පෙනී සිටියහ. වැඩිදුර විභාගය ජුනි මස 29 දාට කල්තැබිණි.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment