කොළඹ කුණු ප්‍රශ්නයට ජනපති මැදිහත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, March 11, 2017

කොළඹ කුණු ප්‍රශ්නයට ජනපති මැදිහත් වෙයි

කොළඹ කුණු ප්‍රශ්නයට ජනපති මැදිහත් වෙයි

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ බැහැර කිරීම් විධිමත් කිරීම සඳහා අදාළ සියලු ආයතන එක්ව නිසි ක‍්‍රමවේදයකට එළැඹිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

කසළ කළමනාකරණය සම්බන්ධයෙන් වගකීම් දරන ප‍්‍රධාන ආයතන අතර නිසි සම්බන්ධීකරණයක් නොමැතිවීම කසළ කළමනාකරණය දුර්වලවීමට ප‍්‍රධාන හේතුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා එහිදී එක් එක් ආයතන තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටුකළ යුතු බව ද කියා සිටියේය.

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල කසළ කළමනාකරණය විධිමත් කිරීම පිළිබඳ ඊයේ (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේය.

කොළඹ නගරයේ කසළ කළමනාකරණය මෙන්ම අලංකරණ කටයුතු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ අතර විහාරමහාදේවි උද්‍යානය, බේරේ වැව අවට පරිසර කලාපය ඇතුළු ස්ථාන කිහිපයක සිදුකළ යුතුව තිබෙන අලුත්වැඩියා කටයුතු පිළිබඳව ද කඩිනම් පියවර ගැනීමට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අවිධිමත් ලෙස කුණු බැහැර කිරීම් වැටලීම් විධිමත් කිරීමට ද මෙහිදී පරිසර පොලිස් ඒකකය වෙත උපදෙස් දුන් ජනාධිපතිතුමා අවිධිමත් ලෙස කසළ බැහැර කරන ආයතන මාධ්‍ය මගින් පෙන්වා දීමේ වැදගත්කම පිළිබඳව ද අවධානය යොමු කළේය.

කසළ නිසි ලෙස බැහැර කිරීම පිළිබඳව මහල් නිවාස, වතු නිවාස සහ අඩුකුලී නිවාසවල ජීවත්වන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශවල ඇවිදීමේ මංතීරු නඩත්තුව සහ ඒවායේ සිදුකළ යුතු අලුත්වැඩියා කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි.

කසළ කළමණාකරණයේදී පළාත් පාලන ආයතන මුහුණ දී ඇති ගැටලු පිළිබඳවද කරුණු ඉදිරිපත් කෙරුණු අතර කසළ එක් රැස් කිරීමේ රථ ප‍්‍රමාණවත් නොවීම සහ සේවක හිඟය පිළිබඳව ද එහිදී අවධානය යොමුකෙරිණි.

No comments:

Post a Comment

Post Bottom Ad