ඇමැති රවී මහ රෑ රේගුවට කඩා පනී  - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, March 22, 2017

ඇමැති රවී මහ රෑ රේගුවට කඩා පනී 

ඇමැති රවී මහ රෑ රේගුවට කඩා පනී 

මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු සොයා බැලීම සඳහා ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබේ.

කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව මෙසේ අමාත්‍යවරයා මුලින් ම ගමන් ගත්තේ රේගුවේ ඔරුගොඩවත්ත බහාලුම් අංගන දෙක වෙත ය. අනතුරුව රේගු මූලස්ථානය ද ඔහු නිරීක්ෂණය කළේ ය.

රේගු දෙපාර්තමේන්තුවේ කටයුතු මන්දගාමීව සිදු වන බවට භාණ්ඩ ආනයන ආයතන මගින් දිගින් දිගටම ලැබී ඇති පැමිණිලි අමාත්‍යවරයාගේ හදිසි රේගු සංචාරයට හේතු වී තිබූ බව එම අමාත්‍යාංශය සඳහන් කළේය. තව ද 24 පැය පුරා රේගු කටයුතු ක්‍රමවත්ව සිදු වන්නේ ද යන්න සොයා බැලීම ද මෙම සංචාරයේ අරමුණ වී තිබේ. 

අමාත්‍යවරයා හිටි හැටියේ බහාලුම් අංගනය වෙත පැමිණීම රේගු නිලධාරීන්ගේ විමතියට හේතුවක් වූ බවත් එමෙන් ම බහාලුම් නිදහස් කරගෙන යාමට පැමිණි ආනයනකරුවන්ගේ නියෝජිතයන් සමග ද අමාත්‍යවරයා සුහද කතාබහක නිරත වූ බවත් එම අමාත්‍යාංශය පැවසී ය.

එහි දී අමාත්‍යවරයා කියා සිටියේ රේගු කටයුතුවල දී කිසියම් ප්‍රමාදයක් වන්නේ නම් ඒ පිළිබඳ තමා දැනුවත් කරන ලෙසයි. රේගු කටයුතුවල දී නිලධාරීන්ට ඇතිවන ගැටලු පිළිබඳව ද අමාත්‍යවරයා එහි දී සාකච්ඡා කර ඇත.

විශේෂයෙන් ම භාණ්ඩ මුදා හැරීම සඳහා හඳුන්වා දී ඇති මාර්ග ගත (Online) ක්‍රියාවලිය සම්බන්ධයෙන් මෙහි දී අමාත්‍යවරයා සොයා බැලීය. බහාලුමක් වරායට පැමිණි අවස්ථාවේ සිට එය අදාළ ආනයනකරු වෙත මුදා හරින තෙක් සිදු වන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් කරුණු විමසා බැලූ අමාත්‍යවරයා පසුගිය දා ජනමාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබූ නීති විරෝධී ලෙසල දුම්වැටි ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද විමසා ඇත. 

අදාළ සිද්ධිය සඳහා ඇතැම් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණ ද එම බහාලුම විවෘත කිරීමෙන් පසු එහි ඇතුළත්ව තිබුණේ ගෘහ උපකරණ පමණක් බව රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා මහතා එහි දී අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර තිබේ.

අමාත්‍යවරයා ඉන් අනතුරුව රේගු මූලස්ථානය වෙත ගොස් ඇති අතර එහි දී රාත්‍රී සේවා මුරවල යෙදී සිටින නිලධාරීන් සමග සාකච්ඡා කර ඇත.

නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා “ආනයනකරුවන්ගේ පැත්තෙන් අපට දැන ගන්නට ලැබුණ රේගු ක්‍රියාවලිය තුළ කිසියම් මන්දගාමී තත්ත්වයක් සිදු වෙලා තියෙනවා කියල. ඒ අනුව තමයි අපි මේ කටයුතු සිදු වෙන ආකාරය නිසි පරිදි නිරීක්ෂණය කරන්න මේ වගේ වේලාවක ආවෙ. ඉතා ම හොඳින් මේ කටයුතු සිදු වෙමින් පවතිනව. නමුත් තව දුරටත් යාවත්කාලීන විය යුතුයි. අප වෙන රටවල් දිහා බැලුව ම පැය 24 පුරාම ආනයන අපනයන කටයුතු සිදු වෙන ආකාරය දක්නට පුළුවන්. අපි එම කටයුතු යම් ප්‍රමාණයකට කරගෙන ගියත් වාප්පු ලිපිකරුවන්ගේ පවතින යම් යම් ගැටලු හේතුවෙන් තවමත් අපේක්ෂා කළ ප්‍රමාණයෙන් එම කටයුතු සිදු නොවන අකාරයක් දකින්නට පුළුවන්.” 

No comments:

Post a Comment

Post Bottom Ad