2017 සෙනසුරු මාරුව ඔබට කොහොමද... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, January 25, 2017

2017 සෙනසුරු මාරුව ඔබට කොහොමද...

මේෂ ලග්නය.

සෙනසුරු ධනු රාශියට මාරුවීම මේෂ ලග්න හිමියන්ට ඉතාමත් සතුටුදායක කාරණයක්. වසර දෙකහමාරක පමණ කලයක් පුරා පැවති ඒරාෂ්ඨක අපලයක් නිමාවෙනවා. තිබුණු අතෘප්තිමත් ගති,අසහනකාරී හැඟීම් දුරුවෙලා යනවා. ආර්ථිකයට බලපෑ අවහිර බාධක තුරන්වෙනවා. අඩපණ වෙලා තිබුණු වැඩ කටයුතු පණගන්වාගන්න ලැබෙනවා. මානසික ප්‍රබෝධය, සතුට, සැනසීම උදාවෙනවා. අලුත් වැඩකටයුතුවලට අතගහන්න, විශේෂ,වැදගත් තීන්දු තීරණවලට එළඹෙන්න ජනවාරි 26 න්  පසු කාලය සුබදායකයි.ආර්ථිකයේ විශේෂ ප්‍රගතියක් ඇතිවෙනවා.සෙනසුරු ධනු රාශියේ ගතකරන 2010.01.25 තෙක් කාලය තුළ අධ්‍යාත්මික කටයුතුවලින් විශේෂ පිහිටක් ලැබෙනවා. අසනීප පීඩා පැවතුණා නම්, ලබාගත් ප්‍රතිකාර වලින් නිසි සුවයක් නොලැබුණා නම් සෙනසුරු මාරුවත් සමග එම අසනීප පීඩා සුව අතට හැරෙනවා.උද්යෝගය, උනන්දුව වර්ධනය වෙනවා. විවාහ කටයුතුවලට බාධක එල්ලවෙමින් තිබුණා නම් එම බාධක අවහිර දුරුවෙලා විවාහ කටයුතු ඉටුකරගැනීමට අවශ්‍ය පසුබිම සකස්වෙනවා.ගෘහ ජීවිතය තුළ සතුට සැනසීම ඇතිවෙනවා.මේ ආකාරයට මේෂ ලග්න හිමියන්ට සෙනසුරු මාරුව හේතුවෙන් සුබ පල උදාවෙනවා.


ඔබට තෙරුවන් සරණයි.

වෘෂභ ලග්නය.

 
වෘෂභ ලග්නයෙන් උපත ලැබූ ඔබට සෙනසුරු මාරුව එතරම් සුබදායක නෑ. සෙනසුරු මාරුවත් සමග ඔබට අෂ්ඨම ඒරාෂ්ඨක අපලය උදාවෙනවා.2020 ජනවාරි 25 වෙනිදා තෙක් පවතින ඒරාෂ්ඨක කාලය තුළ ප්‍රධාන වශයෙන්ම ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් සැළකිලිමත් විය යුතුයි.වැටීම්,අනතුරු,අස්ථි බිඳීම්වලට ඉඩ තියෙනවා.අවදානම් සහිත කටයුතුවලදී කල්පනාකාරී විය යුතුයි.සුළු අසනීපයක් වැළඳුනත් ඉක්මන් සුවයක් නොලැබී කල් ගතවෙන්න පුළුවන්.ඒ වගේම අසනීපයකදී වෛද්‍යවරු වැරදි නිගමනවලට එළඹෙන්න පුළුවන්. ගෘහ ජීවිතය තුළ ඉවසිලිමත්ව හා බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි.ගෘහ ජීවිතයේ සතුට සැනසුම බිඳවැටෙන්න පුළුවන්. ඒ වගේම, රැකියා කටයුතු සම්බන්ධයෙනුත් ගැටළු කරදර මතුවෙන්න ඉඩ තියෙනවා.රැකියා කටයුතු සම්බන්ධයෙන් ඉක්මන් තීන්දු තීරණවලට එළඹීම සුබදායක නෑ. කරන රැකියාව අතහැර වෙනත් රැකියාවක් කෙරෙහි යොමුවෙන්න මේ කාලය කොහෙත්ම සුබදායක නෑ.කරපු රැකියාවට වඩා අලුත් රැකියාව අවුල්සහගත වෙන්න පුළුවන්.අවදානම් සහිත ආයෝජන වලින් වැළකිලා ඉන්න එකත් නුවණට හුරුයි. කොහොම වුණත්, තමන්ගේ ජන්ම කේන්දරය තුළ බලවත් ග්‍රහ තත්වයක් සටහන් වෙලා තියෙනවා නම්, බලවත් ග්‍රහයෙකුගේ දශාවක් ගතකරනවා නම් බයවෙන්න දෙයක් නෑ.ඒරාෂ්ඨක කාලය දන්නෙම නැතුව ගෙවිලා යයි. අපල කාලයක් කියන්නේ පෙර අකුසල් මතුවී පලදෙන කාලයක් හින්දා කුසල් ශක්තිය වැඩිකරගත යුතුයි.


ඔබට තෙරුවන් සරණයි.

මිථුන ලග්නය.


සෙනසුරු හයවැන්නෙන් හත්වැන්නට ගමන්කරනවා. හත් වෙනි භාවය සෙනසුරු ට සුබදායක ස්ථානයක් බව ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. පෙරට වඩා යහපත් වටපිටාවක් හැදෙනවා.ඈලි මෑලි ගති දුරුවෙලා යනවා. නව ජවයක් ඇතිවෙනවා.සෙනසුරු විවාහස්ථානයට ඇවිත් නව ජවයක් ඇතිකිරීම එක පැත්තකින් ටිකක් භයානකයි. මනමාල ගති ඉස්මතුවෙන්න පුළුවන්.විවාහක මිථුන ලග්න හිමියෝ තරමක් ප්‍රවේශම්ව කටයුතු කිරීම සුබදායකයි. විවාහ ජීවිතයේ සමගිය, සමබරතාවය එහා මෙහා වෙන්න පුළුවන්.විරුද්ධ ලිංගිකයින් එක්ක පරිස්සමෙන් කටයුතු කළ යුතුයි. සහකරුට, සහකාරියට තරමක අපල එල්ලවෙන තත්වයකුත් තියෙනවා. කලින්ට වඩා දියුණුවේ සාර්ථකත්වයේ සතුටුදායක තත්වයක් ඇතිවෙනවා.අලුත් අදහස් එක්ක අලුත් වැඩකටයුතු දියත් කරගන්න ලැබෙනවා.හිතමිත්‍රාදීන් ගේ ඇසුර වර්ධනය වෙනවා.කොහොම වුණත්, මිතුරු වෙසින් සමීප වෙන අවස්ථාවාදී, ඊර්ශ්‍යාකාර පුද්ගලයින් හඳුනා නොගත්තොත් යම් යම් ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ශරීර සෞක්‍යයට වරින් වර තරමක බලපෑම් එල්ලවෙනවා. මුත්‍රා අබාධ, ලිංගාශ්‍රිත රෝග,අර්ශස්,අම්ලපිත්තය වැනි අසනීප මතුවෙන්න පුළුවන්.හැකි තරම් ජලය පානය කිරීම ඉතාමත් යහපත් වෙනවා. රැකියා කටයුතුවල දියුණුවක් ඇතිවෙනවා. අනවශ්‍ය වියදම් කෙරෙහි සිත යොමුවිය හැකි බැවින් වියදම් සම්බන්ධයෙන් නිතර කල්පනාවෙන් කටයුතු කළ යුතුයි. කොහොම වුණත් මිථුන ලග්න හිමියන්ට සෙනසුරුගෙන් බරපතළ හිරිහැරයක් නම් ඇතිවෙන්නෙ නෑ. මිථුන ලග්න හිමියන්ගේ ලග්නාධිපති බුධ සමග සෙනසුරු ඉතාමත් මිත්‍රයි.


ඔබට තෙරුවන් සරණයි.

කටක ලග්නය.


සෙනසුරු ගමන් කරන්නේ කෙන්දරයේ හය වෙනි භාවයටයි. සෙනසුරු මාරුව කටක ලග්න හිමියන්ට සුබදායකයි. සෙනසුරු හය වැන්නට පැමිණීම සුබදායක කාරණයක්. බාධක අවහිර දුරුවෙනවා. සතුරු බලපෑම් මර්දනය වෙනවා. වාසිදායක වටපිටාවක් නිර්මාණය වෙනවා.ශරීර සනීපය ඇතිවෙනවා. ණය තුරුස්වලින් නිදහස් වෙන්න ලැබෙනවා. ආර්ථිකයේ විශේෂ කලඑළියක් ඇතිවෙනවා. විශේෂ ධන ලාභ හිමිවෙනවා. හිතට ගැළපෙන පසුබිමක් ගොඩනැගෙනවා. අලුත් වැඩකටයුතුවලට අත ගහන්න, ව්‍යාපාර පටන්ගන්න වගේම විශේෂ තීන්දු තීරණවලට එළඹෙන්නත් සුබ දායක කාලයක්. කරන ව්‍යාපාර කටයුතු,රැකියා කටයුතු දියුණු වෙනවා. නොමනා සම්බන්ධකම් ඇතිවෙන්න පුළුවන්.විවාහක කටක ලග්න හිමියන් බොහොම කල්පනාවෙන්, බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීම සුබදායකයි. තමන්ට අහිමිවී තිබුණු යම් යම් දේ පවා මෙම කාලය තුළ ආපසු ලැබීමට ඉඩ තියෙනවා.සැප පහසුව ඇතිවෙනවා. ගෘහ ජීවිතයේ සතුට සැනසීම ඇතිවෙනවා.ගමන් බිමන් සාර්ථක වෙනවා.හිත මිතුරු සම්බන්ධතා වර්ධනය වෙනවා. මේ ආකාරයට, සෙනසුරු මාරුව කටක ලග්න හිමියන්ට සුබදායක වෙනවා. කොහොම වුණත්, කේන්දරයේ අසුබදායක ලෙස තැන්පත්ව සිටින බාධකකාරී ග්‍රහයෙකුගේ දශා කාලයක් ගතවන්නේ නම් මේ සුබ පල හීන වී අසුබ බලපෑම් එල්ලවීමට ඉඩ තිබෙන බව මතක තබා ගත යුතුයි.


ඔබට තෙරුවන් සරණයි.

සිංහ ලග්නය.


සෙනසුරු ගෘහ ස්ථානය වූ සිව් වැන්නෙන් ඉවත් වෙලා පස් වැන්නට පැමිණීම සතුටුදායක කාරණයක්. කාලයක් පුරාම බොහෝ සිංහ ලග්න හිමියන්ගේ ගෘහ ජීවිත තුළ නොයෙක් ගැටළු,හැලහැප්පීම් තිබුණු බව රහසක් නෙමෙයි. සෙනසුරු මාරුවත් සමග ගෘහ ජීවිතයේ කැපී පෙනෙන වෙනසක් ඇතිවෙනවා.පැවති කරදර, කනස්සලු ගති සමනය වෙලා යම් අස්වැසිල්ලක් ලැබෙනවා.ගෙදර දොරේ කටයුතු හිතට ප්‍රියමනාප ආකාරයට කරගෙන යන්න හිත දෙනවා.දෙන්නා දෙමහල්ලො අතරෙ තිබුණු නොහොඳ නෝක්කාඩු දුරුවෙනවා.ගෙයක් හදන්න පටන්අරගෙන වැඩකටයුතු අතරමග නතරවෙලා තිබුණා නම් වැඩකටයුතු ඉක්මනින් ඉවරකරගන්න ලැබෙනවා. ගෙයක් හදාගන්න බලාපොරොත්තුව හිතේ තියාගෙන හිටියත් වැඩ පටන්ගන්න බැරුව හිටිය අයට සෙනසුරු මාරුවත් සමග යහපත් පසුබිමක් ගොඩනැගෙනවා. සෙනසුරු ධනු රාශියේ ගත කරන 2017.01,26 - 2020.01.25 අතර කාලය තුළ දරුවන්ට තරමක අපල එල්ල වෙනවා. දරුවො ඉන්න සිංහ ලග්න හිමියො තමන්ගෙ දරුවන්ගේ කේන්දරය බලවාගන්න එක කොයිකටත් හොඳයි. ප්‍රේම සම්බන්ධතා පවත්වාගෙන යන සිංහ ලග්න හිමියන්ට නම් තරමක බාධක අවහිරවලට මුහුණ දෙන්න සිද්දවෙනවා. ඉවසිලිමත්ව කටයුතු කිරීම නුවණට හුරුයි. අනියම් සම්බන්ධතා පවත්වන සිංහ ලග්න හිමියො බොහොම පරිස්සම් වෙන්න ඕනැ මොකද, මේ කාලය තුළ අනියම් දරුපල ලැබෙන්න පුළුවන්. ඒ කාරණය අදාල වෙන්නෙ නොමනා දිවි පැවත්මක් ඇති අයට විතරක් හින්දා පින්වන්ත සිංහ ලග්න හිමියො බියවිය යුතු නෑ. රැකියා කටයුතු,ව්‍යාපාර කටයුතු කලින්ට වඩා හොඳින් කරගෙන යන්න ලැබෙනවා.


ඔබට තෙරුවන් සරණයි.

කන්‍යා ලග්නය.


සෙනසුරා කන්‍යා ලග්න හිමියන්ගේ ගෙදරටම කඩාපාත්වෙනවා. තුන් වැන්නේ හිටපු සෙනසුරු ගෘහ ස්ථානය වූ සිව් වැන්නට පැමිණීම ගෘහ ජීවිතය සම්බන්ධයෙන් එච්චර සුබදායක නෑ. සෙනසුරා ගෙදර ඉන්න කාලය තුළ එනම්, 2017.01.26 - 2020.01.25 අතර කාලය ඉවසිලිමත්ව කටයුතු කිරීම සුබදායකයි. ගෙදර දොරේ සමගිය වරින් වර බිඳවැටෙන්න පුළුවන්. ගේදොර, දේපළ සම්බන්ධයෙන් නොයෙකුත් ගැටළු,පැටලිලි මතුවෙන්නත් පුළුවන්. එහෙම මතුවෙන ගැටළු, ආරවුල් හැකි තරම් ගොඩින් බේරගන්න උත්සාහ ගත යුතුයි. කොහොම වුණත්, කේන්දරයේ ඉන්න බලවත්,හිතවත් ග්‍රහයෙකුගේ දශාවක් පවතිනවා නම් ඒ ග්‍රහයා සෙනසුරුගේ බලපෑම් බොහෝ දුරට යටපත් කරලා දායි. සෙනසුරු ධනු රාශියේ කල්ගෙවන කාලය තුළ නිවාස, ඉඩම් එහෙම විකිණීම, මිලදී ගැනීම වගේ කාරණා වලදි පාඩු අලාබ සිද්දවෙන්න පුළුවන්.ඒ හින්දා ඒ වගේ වැඩවලදී නුවණ භාවිතා කළ යුතුයි. මේ කාලය තුළ මව් පාර්ශවයේ වැඩිහිටි ඥාතියෙකුට අපල එල්ල වෙනවා. බොහෝවිට ඒක මාරක අපලයක් වෙන්නත් පුළුවන්. වැඩිහිටි ඥාතීන් සමග නොහොඳ නෝක්කාඩු කම් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා. කරන රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු ආදියේ සුළු සුළු අඩාලවීම් වරින් වර ඇතිවුණත් බරපතළ කඩාවැටීමකට ඉඩකඩ නෑ. කොහොම වුණත්, ස්ථාන වෙනස්කිරීමට නම් මේ කාලය ගැළපෙන්නෙ නෑ. ගිය තැන හිතට හරි නොයන්න පුළුවන්.වියදම් කරන කොට බොහොම සැළකිල්ලෙන් කටයුතු කරන්න ඕනැ.වැඩිපුර වියදම් වෙන්න පුළුවන්. කන්‍යා ලග්න හිමියන්ගේ පණ්ඩිතකම ටිකක් පැත්තකින් තියලා දැන උගත්, වැඩිහිටි අයගේ අදහස් වලටත් ටිකක් ඇහුම්කන් දීලා කටයුතු කරනවා නම් මේ කාලෙදි ගොඩක් වටිනවා.


ඔබට තෙරුවන් සරණයි.

තුලා ලග්නය.


සෙනසුරු වික්‍රමස්ථානය වූ තුන් වැන්නට පැමිණීම සුබයි.පැවති ලග්න ඒරාෂ්ඨකය මුළුමනින්ම නිමා වෙනවා. ඔබට බොහොම යහපත් කාලයක් උදාවෙනවා. කරන කියන කටයුතු සාර්ථක වෙනවා. උද්යෝගය,උනන්දුව වර්ධනය වෙනවා. ශරීර සනීපය ඇතිවෙනවා.කරගෙන යන කටයුතු වගේම, අලුතින් පටන්ගන්නා කටයුතුද සාර්ථකත්වයට පත්වෙනවා. තම බලය වර්ධනය වෙනවා. උසස්වීම්, නිලතල හිමිවෙනවා. රැකියාවේ විශේෂ දියුණුවක් ඇතිවෙනවා.තම වැඩකටයුතුවලට අන්‍යයන්ගේ සහයෝගය ලැබෙනවා.තම දියුණුව, සාර්ථකත්වය අවහිර කරමින් පැවති බාධක, අවහිර මෙන්ම සතුරු බලපෑම්ද තුරන් වෙලා යනවා.නොක් දේ හිමිවෙනවා.සමාජය තුළ කැපිපෙනෙන තත්වයක් ඇතිවෙනවා. ගෙදරදොර දියුණුව ඇතිවෙනවා.අදායම් වැඩි වෙනවා.භූමියෙන් සම්පත් ලැබෙන කාලයක් බැවින් භුමිය ආශ්‍රිත කටයුතුවලට අතගහන්න සුබයි. නඩුහබ තිබුණේ නම් ඒවායින් ජයග්‍රහණය ලැබෙනවා.වැඩිහිටියන්ගෙන් විශේෂ උපකාර හිමිවෙනවා. සෙනසුරු ධනු රාශියේ කල්ගෙවන 2017.01.26 - 2020.01.25 අතර කාලය ගෙවල් හදන්න සුබදායකයි. එවැනි කටයුතු අතරමග නතර වෙලා තිබුණා නම් නැවත සාර්ථකව කරගෙන යන්න පුළුවන් වෙනවා. උරුම හිමිකම් සම්බන්ධයෙන් ගැටළු පැටලිලි පැවතුණා නම් ඒවා නිරවුල් වෙනවා. ඔය අතරේ අනියම් කම් සැප ලැබෙන්නත් පුළුවන්. කොහොම වුණත්, සෙනසුරා සදාකල් තුන් වෙනි භාවයේ නොසිටින හින්දා එවැනි කටයුතුවල පැටලුනොත් ඊළඟ සෙනසුරු මාරුවෙන් පස්සේ අමාරුවේ වැටෙන්න පුළුවන්. ඒ හින්දා යහපත් දිවි පැවැත්ම කොයි අතිනුත් සුබදායකයි.


ඔබට තෙරුවන් සරණයි.

වෘශ්චික ලග්නය.


සෙනසුරු දෙවැන්නට ගියත් ඔබේ ලග්න ඒරාෂ්ඨක අපලය තව දුරටත් පවතිනවා. 2020.01.25 තෙක් කාලය හැම අතින්ම ප්‍රවේශම් වීම බොහොම වැදගත් වෙනවා. විශේෂයෙන් ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් දැඩි ලෙස සැළකිලිමත් වෙන්න ඕනැ. වැටීම්,අනතුරු,අස්ථි බිඳීම්වලට ඉඩ තියෙනවා. අවදානම් කටයුතුවලදී බොහොම කල්පනාවෙන් කටයුතු කරන්න. උඩ නැගීම්, වාහන පැදවීම්, පාර මාරුවීම් ආදියේදී නිවැරදි සිහි කල්පනාවෙන් කටයුතු කිරීම වැදගත්වෙනවා. සුළු අසනීපයක් වැළඳුනත් නිශ්චය කරගැනීමට අපහසු වෙන්න පුළුවන්. ලබාගන්නා ප්‍රතිකාර වලින් ඉක්මන් සුවයක් නොලැබෙන්න පුළුවන්.අසනීපයකදී වෛද්‍යවරු වැරදි නිගමනවලට එළඹෙන්නත් පුළුවන්. ආර්ථිකය සම්බන්ධයෙනුත් සැළකිලිමත් වෙන්න ඕනැ. අධික වියදම්, ධන හානි, නිෂ්පල වියදම්වලට ඉඩ තියෙනවා.සැක සහිත පුද්ගලයින් එක්ක ගණුදෙනු වලට යන්න හොඳ නෑ.ඉඩමක්,නිවසක් විකිණුවත් එකවර මුදල් ලබාගන්නවා මිසක කොටස් වශයෙන් ලබාගන්න ගියොත් බලවත් පාඩු සිද්දවෙන්න පුළුවන්. අවදානම් සහිත ආයෝජන වලින් වැළකිය යුතුමයි. ගෘහ ජීවිතය තුළ අසමගිකම් ඇතිවෙන්න පුළුවන්.බොහොම ඉවසිලිමත්ව, බුද්ධිය මෙහෙයවා කටයුතු කිරීම වැදගත් වෙනවා.ඉක්මන් තීන්දු, තීරණවලින් වැළකිලා සිටීම නුවණට හුරුයි. කොහොම වුණත්, ජන්ම කේන්දරයේ බොහොම බලවත් ග්‍රහ රටාවක් සටහන්වෙලා තියෙනවා නම්, සුබදායක ග්‍රහයෙකුගේ දශාවක් ගතකරනවා නම් බය වෙන්න කාරණයක් නෑ. ඔය කාලය අපූරුවට ගතවෙලා යයි.


ඔබට තෙරුවන් සරණයි.

ධනු ලග්නය.


සෙනසුරා ලග්න භාවයට හෙවත් කේන්දරයේ පළමු කොටුවට ගමන් කරනවා. සෙනසුරු පළමු භාවයට යාමේ කිසිදු හොඳක් ජ්‍යොතිෂයේ සඳහන් වෙලා නෑ. ඒත්, සෙනසුරු ධනු රාශියට පීඩාකාරී ග්‍රහයෙක් නොවන බවත්,මිතුරු ග්‍රහයෙක් බවත් ජ්‍යොතිෂයේ පිළිගන්නා කාරණයක්. තරමක අසුබ බලපෑම් එල්ල වුණත්, වඩාත් විපත්තිදායක කරදර පීඩා ඇතිවෙන්න විදියක් නෑ. මානසික සහනය වරින් වට අඩුවෙනවා. හිතේ තරමක කනස්සලු ගති ඇතිවෙනවා. ඔය අතරේ ආවේගශීලී ගතිත් මතුවෙනවා. 2017.01.26 - 2020. 01. 25 අතර කාලය තුළ ඉවසිලිමත්ව කටයුතු කිරීම යහපතට හේතුවෙනවා.හිස කැක්කුම්, දෙපා, සන්ධි ආශ්‍රිත වේදනා මතුවෙන්න පුළුවන්. රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු ආදියට සැළකිය යුතු තරමේ බලපෑමක් එල්ල වෙන්නේ නෑ. වෙහෙස මහන්සිය නොබලා කැපවීමෙන් කටයුතු කිරීමේ හැකියාව සෙනසුරු ඔබට ලබාදෙනවා. කරන කටයුතු අතරමග නතර නොකර අඛණ්ඩව කරගෙන යාමට හැකිවෙනවා. සෙනසුරු ලග්නයට ගමන් කිරීම විවාහ කටයුතුවලට සුබදායකයි. කල් පසුවෙමින් තිබුණු යුගදිවි බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමට අවශ්‍ය පසුබිම සෙනසුරු සකස්කරලා දෙනවා. සෙනසුරු ධනු රාශියේ ගතකරන කාලය ගෙවල් හදන්න හොඳයි. මේ කාලය නීති ප්‍රශ්න පටලවා ගන්න නම් හොඳ කාලයක් නෙමෙයි. ඒ හින්දා අන්‍යයන් වෙනුවෙන් ඇපවීම්, අන්‍යයන්ගේ ණය ගණුදෙනු වලට මැදිහත්වීම් ආදියෙන් වැළකිලා ඉන්න මතක තියාගන්න. නීති ප්‍රශ්නයක් මතු වුණොත් අවාසිදායක වෙන්න පුළුවන්.


ඔබට තෙරුවන් සරණයි.

මකර ලග්නය.


මකර ලග්නය හිමි ඔබේ කේන්දරයේ වැයස්ථානය වූ දොළොස් වෙනි භාවයට සෙනසුරු ගමන් කරනවා.  සෙනසුරු මාරුවත් සමග ඔබට ලග්න ඒරාශ්ඨක අපලය උදාවෙනවා. මේ අනුව තරමක අසුබ බලපෑම්වලට මුහුණ දීමට සිද්දවෙනවා. ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂයෙන් සැළකිලිමත් විය යුතුයි. ධන හානි, නිෂ්පල වියදම්, අධික වියදම්වලට ඉඩ තියෙනවා. ගනු දෙණු වලදී බොහොම කල්පනාකාරී විය යුතුයි. සැක සහිත පුද්ගලයින් සමග මුදල් ගණුදෙනු කිරීමෙන් වැළකී සිටීම නුවණට හුරුයි. වටිනාකියන දේවල් විකිණීමේදී හා මිලදී ගැනීමේදී වඩාත් සැලකිළිමත් විය යුතුයි. 2017. 01.26 - 2020. 01. 25 අතර කාලය තුළ නීති ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්.දේපළ, ගේදොර සම්බන්ධ ගණුදෙනු වලට මේ කාලය සුබ නෑ. ලාබ බලාපොරොත්තුවෙන් කරන විශාල මුදල් වැයකිරීම් වලින් වළකින්න ඕනෑ. ශරීර සෞක්‍යය සම්බන්ධයෙන් ද සෙනසුරුගේ අසුබ බලපෑම් එල්ල වෙනවා. වැටීම්, අනතුරු, අස්ථි බිඳීම්වලට ඉඩ තියෙනවා. අවදානම් සහිත කටයුතුවලදී කලපනාකාරී විය යුතුයි. සුළු අසනීපයක් වැළඳුනත් නිශ්චය කරගන්න අමාරු වෙන්න පුළුවන්. ලබාගන්නා ප්‍රතිකාරවලින් ඉක්මන් සුවයක් නොලැබී කල් ගතවෙන්නත් පුළුවන්. තම අගය, වටිනාකම අන්‍යයන්ට එතරම් නොපෙනෙන, නොදැනෙන කාලයක් හින්දා අන්‍යයන්ගේ සහයෝගය,ලෙන්ගතුකම බලාපොරොත්තු වන තරමට නොලැබී යන්න පුළුවන්. ගෘහ ජීවිතය තුළ ඉවසිලිමත්ව කටයුතු කළ යුතුයි. අසමගිකම්, ඔවුනොවුන් නොරුස්සන ගති ඇතිවෙන්න පුළුවන්.උපන් ග්‍රහ තත්වයේ ප්‍රබලතාවය මත හෝ දැනට ගතකරන සුබදායක දශාවක් හේතුවෙන් මේ අසුබ බලපෑම් දුරුවෙලා යන්න පුළුවන්.


ඔබට තෙරුවන් සරණයි.

කුම්භ ලග්නය.


කුම්භ ලග්නය හිමි ඔබේ ලග්නාධිපති සෙනසුරු අයස්ථානයට හෙවත් එකොළොස් වෙනි භාවයට ගමන් කරනවා. එකොළොස් වෙනි භාවයට සෙනසුරු සුබදායක ග්‍රහයෙක් විදියට සැළකෙනවා.මේ අනුව සෙනසුරු මාරුව ඔබට ඉතාමත් සුබදායකයි. ශරීර සෞක්‍යය යහපත් වෙනවා.සියලු වැඩ කටයුතු හිතට ගැළපෙන විදියට කරගෙන යන්න ලැබෙනවා. රැකියා කටයුතු, ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා.සිතට සතුට, සැනසීම ඇතිවෙනවා. බලාපොරොත්තු බොහොමයක් ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා.හිත මිතුරු සම්බන්ධකම් වර්ධනය වෙනවා වගේම හිත මිත්‍රාදීන්ගෙන් උදව් උපකාරත් ලැබෙනවා.වටිනාකියන පුද්ගලයින් සමීප වෙනවා. උසස්වීම්,තනතුරු හිමිවෙනවා. රැකියා කටයුතුවල ගැටළු පැවතුණා නම් ඒවා තුරන් වී යනවා. අලුත් වැඩ කටයුතුවලට අතගහන්න පුළුවන් වෙනවා. ප්‍රමාද වෙමින් තිබුණු, අඩපණ වී තිබුණු දේවල් සාර්ථකව දියත් කරගන්න ලැබෙනවා. පමාවෙමින් තිබුණු විවාහ කටයුතු සාර්ථක වෙනවා. ගෘහ ජීවිතය තුළ සතුටුදායක, ප්‍රියමනාප වාතාවරණයක් ඇතිවෙනවා.නොහොඳ නෝක්කාඩුකම් තිබුණා නම් ඒවා දුරුවෙලා සමගිය ඇතිවෙනවා. සමාජයේ අන්‍යයන් අතර කැපී පෙනෙන තත්වයක් ඇතිවෙනවා. භූමියෙන් සම්පත් ලැබෙන කාලයක් බැවින් භූමිය ආශ්‍රිත කටයුතුවලට අතගහන්න හොඳ කාලයක්. ගෙවල් හදන්නත් ඉතාමත් හොඳ කාලයක්. අනපේක්ෂිත ධන ලාබවලටත් ඉඩ තියෙනවා.  බලවත් අසුබ ග්‍රහයෙකුගේ දශාවක් ගතවන්නේ නම් මේ සුබ පල අඩුවෙන්න පුළුවන්.


ඔබට තෙරුවන් සරණයි.

මීන ලග්නය.

 
ඔබේ කේන්දරයේ කර්මස්ථානයට සෙනසුරු ගමන් කිරීම එතරම් සුබදායක නෑ. මානසික සහනය අඩුවෙනවා. කරන කියන කටයුතුවලට බාධක අවහිර එල්ල වෙනවා.උත්සාහයේ, මහන්සියේ තරමට ප්‍රතිපල ලබාගන්න අමාරු වෙනවා. උද්යෝගය, උනන්දුව අඩුවෙනවා. රැකියා කටයුතු සම්බන්ධයෙන් ගැටළු,කරදර මතුවෙන්න විශාල ඉඩකඩක් තියෙනවා. රැකියාව සම්බන්ධයෙන් සතුට, තෘප්තිය අඩුවෙනවා.කොහොම වුණත් 2017.01.26 - 2020. 01. 25 අතර කාලය රැකියාව වෙනස් කරන්නත් හොඳ කලයක් නෙමෙයි. කරපු එකම කරගෙන හිටියා නම් හොඳයි කියලා පස්සේ හිතෙන්න පුළුවන්. ඉක්මන් තීරණවලට යොමු නොවී ඉවසිලිමත්ව කටයුතු කිරීම නුවණට හුරුයි. දණිස්, සන්ධි, දෙපා,තුනටිය ආශ්‍රිත වේදනා පීඩා මතුවෙනවා. සුළු අනතුරු වලටත් ඉඩ තියෙන හින්දා නිතරම කල්පනාවෙන් කටයුතු කරන්න ඕනැ. මේ කාලය තුළ තමන්ගේ ආත්ම ගෞරවයට හානි සිද්දවෙන්න පුළුවන්. අයහපත් ඇසුර හේතුවෙන් හෝ දුරදිග නොබැලීම හේතුවෙන් නොමනා කටය්තුවලට යොමුවෙන්න ඉඩ තියෙනවා. චෝදනා,අපහාස එල්ල වෙන්නත් ඉඩ තියෙන හින්දා දුරදිග බලලා වැඩකටයුතු කිරීම කොයි අතිනුත් හොඳයි. ගෘහ ජීවිතයේ සමගිය, සමබරතාවය අඩුවෙන්න පුළුවන්.විවාහ කටයුතුවලට බාධක එල්ල වෙනවා. පිය පාර්ශවයේ වැඩිහිටි ඥාතියෙකුට අපල එල්ල වෙනවා. වැඩ කටයුතු සාර්ථක කරගැනීමට දැඩි වෙහෙසක් ගන්න වෙනවා. තත්වයට නොගැළපෙන අය සමග නොමනා සම්බන්ධකම් ඇතිවෙන්න ඉඩ තියෙනවා වගේම ඒවායින් නොයෙක් ප්‍රශ්න මතුවෙන්නත් පුළුවන්. යම් යම් දේ සීමාවක් නැතුව අති ධාවනයෙන් කරන්නට යාම හින්දා දෝෂ දර්ශනයට ලක්වෙන්න පුළුවන්. උපතේදී ලග්නාධිපති ගුරු බලවත්ව සිටී නම්, බලවත් ග්‍රහයෙකුගේ දශාවක් ගතකරනවා නම් මේ අසුබ බලපෑම් ඔය විදියට එල්ල වෙන්නෙ නෑ.


ඔබට තෙරුවන් සරණයි.


ජ්‍යොතිෂවේදී, ගුප්ත වෛද්‍ය
දේශමාන්‍ය සංජීව කුළුපන බණ්ඩාර

No comments:

Post a Comment

Post Bottom Ad