යහපාලනය ‘ඩඞ්ලි සේනානායක’ නමත් මකවයි.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, December 6, 2016

යහපාලනය ‘ඩඞ්ලි සේනානායක’ නමත් මකවයි..

වරකාපොළ ඩඩ්ලි සේනානායක කාර්මික විද්‍යාලයේ නම වෙනස් කර තිබීම පිළිබද වෘත්තීය සමිති නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් බලවත් කණස්සල්ල පල කරති. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශයට පත්විය.

අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා වෙත තොරතුරු ඉදිරිපත් කළ වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ වත්මන් පාලන සමය තුළදී මෙවැනි දේ සිදු වීම පිළිබද කණගාටුවන බවයි. එමෙන්ම එය සාධාරණීකරණය කළ නොහැකි තරමේ වරදක් බවද ඔවුන් පෙන්වා දුන්හ. වරකාපොළ ඩඩ්ලි සේනානායක කාර්මික විද්‍යාලය ලෙස හැදින්වූ මෙම ආයතනය වරකාපොළ කාර්මික විද්‍යාලය ලෙසට නම වෙනස් කිරීම, මෙරට බිහිවූ අසහාය නායකයෙකු නොසලකා හැරීමක් බවද එම නියෝජිතයින් විසින් පෙනවා දුන්හ.

ඩඩ්ලි සේනානායක මහතා අග්‍රාමාත්‍යවරයාව සිටි සමයේ ආරම්භ කරන ලද මෙම ආයතනය මුලින්ම ඇරඹුනේ ඉංග්‍රීසි ගුරු විදුහලක් ලෙසයි. පසුකාලීනව ඇති වූ අවශ්‍යතා මත එය කාර්මික විද්‍යාලයක් බවට පරිවර්ථනය විය. එමෙන්ම එය 1978 වසරේ ජනවාරි මස 10 වනදා ඩඩ්ලි සේනානායක කාර්මික විද්‍යාලය ලෙස නම් කරන ලද්දේ අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක මහතා ඉටු කළ මෙහෙවරට උපහාරයක් ලෙසයි. එම කටයුත්තට දායක වී ඇත්තේ එවකට අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යවරයාව සිටි නිශ්ශංක විජේරත්න මහතායි.

තරුණ තරුණියන් දහස් ගණනකට ලොව ජය ගන්නට මාවත කියා දීමට සමත් වූ මෙම ආයතනය තුළ අදටත් සිසු සිසුවියන් 1000 ට ආසන්න පිරිසක් විවිධ පාඨමාලා හදාරති. උසස් ජාතික ඩිප්ලෝමාව, ජාතික ඩිප්ලෝමාව, වෘත්තීය හා ශිල්පීය පාඨමාලා සහ ඉංජිනේරු යන කාණ්ඩ හතර යටතේ එම පාඨමාලා ක්‍රියාත්මක වෙයි.

ඇති වී තිබෙන තත්ත්වය කෙරෙහි අවදානය යොමු කළ අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියේ කවුරුන් විසින් හෝ බරපතල වරදක් සිදු කර ඇති බවයි. මීට වගකිව යුතු නිලධාරීන් පිළිබද සහ එම නිලධාරීන් මෙම තීරණයට එළඹ ඇත්තේ කවුරුන්ගේ උපදෙස් මතද යන්න පිළිබද සොයා බලන බවටත් අමාත්‍යවරයා පොරොන්දු වූයේය. එමෙන්ම වරකාපොල කාර්මික විද්‍යාලය නැවතත් ඩඩ්ලි සේනනායක කාර්මික විද්‍යාලය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවටත් අමාත්‍යවරයා වාත්තීය සමිති නියෝජිතයින් වෙත පොරොන්දු විය.

මාධ්‍ය ඒකකය
නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍යංශය

No comments:

Post a Comment

Post Bottom Ad