වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, December 2, 2016

වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක්

වර්ජන කාලයේ ධාවනයවන බස්වලට විශේෂ ආරක්ෂාවක්
ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සැලසුමු කළ පරිදි පෞද්ගලික බස් රථ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව බස් වෘත්තීය සංගම් ප්‍රකාශ කරයි.
සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා කියාසිටියේ ඒ අනුව බස් සහ ත්‍රීරෝද රථ ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති 28ක සහභාගීත්වයෙන් එම වර්ජනය මේ වනවිට ආරම්භ කර ඇති බවයි.

මාර්ග වැරදි 07 ක් සම්බන්ධයෙන් අවම රථවාහන දඩය රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව පෞද්ගලික බස් සංගම් ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති 28 ක් පසුගියදා ප්‍රකාශ කළේය.

මේ අතර, ඊයේ පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී බස් රථ ඇතුළු ප්‍රවාහන වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්වුණි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කළේ එහිදී අධික වේගයෙන් රිය පැදවීම සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සම්බන්ධයෙන් සංශෝධනයක් ඉදිරියේදී සිදුකිරීමට එකඟතාව පළ වූ බවයි.

ඒ අනුව තම සංගමය මෙම වර්ජනයට එක් නොවන බව ඔහු පැවසීය. කෙසේ වෙතත්, නියමිත පරිදි වැඩවර්ජනය අද දිනයේ ක්‍රියාත්මක බව සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සමිති සම්මේලනයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

මේ අතර ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ පෞද්ගලික බස් වර්ජනයට මුහුණදීමට අවශ්‍ය සියලූ කටයුතු මේ වනවිට සූදානම් කර ඇති බවත් ඒ සදහා ලංගම බස් රථ 6500ක් අතිරේකව යොදවා ඇති බවත්ය. එමෙන්ම, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එච්.හේමචන්ද්‍ර මහතා සදහන් කළේ ජනතාවට අපහසුවක් නොවන ආකාරයට ප්‍රමාණවත් පරිදි බස් රථ යොදවා ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට පොලිසියද කටයුතු කරන බව ද ඔහු අවධාරණය කළේය. මේ අතර, අද ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වැඩවර්ජනය අත්හිටුවීමට ඊයේ තීරණය කෙරුණි. ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් බවට පත් කිරීම, විශ්‍රාම වැටුප් කප්පාදුව, දුම්රිය ඉඩම් පෞද්ගලික අංශයට පැවරීම ඇතුළු ඉල්ලීම් 04 මුල්කරගනිමින් ඔවුන් මෙම වැඩවර්ජනය දියත් කිරීමට සැලසුම් කර තිබුණි.

No comments:

Post a Comment

Post Bottom Ad