'ශ්‍රී ලංකන් ගුවන් යානාවලින් ආයුධ ගෙනාවා' - හිටපු ඇමති හෙළිකරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, December 3, 2016

'ශ්‍රී ලංකන් ගුවන් යානාවලින් ආයුධ ගෙනාවා' - හිටපු ඇමති හෙළිකරයි

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානා යුද සමයේදී ආයුධ ප්‍රවාහනය සඳහා පවා යොදාගත් බව හිටපු අමාත්‍ය, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ඊයේ (02) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවය පුද්ගලික සමාගමකට පැවරීමට රජය ගෙන ඇති තීරණය වහා නවතා දමන ලෙසත් මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා රජයෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වර්තමාන තත්වය පිළිබඳව අයවැය විවාදයේදී අදහස් දැක් වූ හිටපු අමාත්‍යවරයා, "පාඩුවත් රජය අරගෙන කොහේවත් නැති සිංගප්පූරු, මාලදිවයින් කේටරින් සමාගකට මේක දෙන්න හදනවා. අපිට ඉතාමත් තීරණාත්මක වෙලාවේ අපේ ශ්‍රී ලංකන් ගුවන් සේවාව තමයි පාකිස්තානයට ගිහිල්ල ආයුධ ගෙනාවේ. අපේ හමුදා සෙබළුන්ට. දැන් මේවා පාඩුයි කියනවා." යනුවෙන්ද සඳහන් කළේය.

2017 වසර වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට පසුගිය රජය සැලසුම් කර තිබූ බවත් ඔහු පැවසීය. පසුගිය රජය යටතේ ශ්‍රී ලංකන් සේවයට පාඩු සිදු වූ බව පිළිගත් අළුත්ගමගේ මන්ත්‍රීවරයා එහි '2% ක් හෝ 3%ක්' දූෂණ වංචා සිදුවී තිබෙන්නට ඇතැයි ද සඳහන් කළේය.

"අපි කියනවා යම් යම් අඩුපාඩු තිබුණා. 2% - 3% වංචාවක් තියෙන්න ඇති. හැබැයි අවුරුදු 1 1/2 ගියා, ශ්‍රී ලංකන් සමාගමේ එක්කෙනෙක් ගෙනල්ලා හිරේ දැම්මද?," මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.

ආණ්ඩුව වෙනුවෙන් විවාදයේදී අදහස් දැක්වූ එරාන් වික්‍රමරත්න නියෝජ්‍ය අමාත්‍යවරයා, ජනතාවගේ බදු මුදලින් පාඩු ලබන හෝටල් සහ ගුවන් සමාගම් පවත්වාගෙන යාමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බව සඳහන් කළේය.

ශ්‍රී ලංකන් සමාගමේ ආයෝජනය කිරීම සඳහා ඉදිරිපත් වූ සමාගම් අටෙන් සමාගම් තුනක් මේ වසර අවසන් වීමට ප්‍රථම ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට නියමිත බව ද ශ්‍රී ලංකන් සේවය විකුණා දැමීමේ සැලසුමක් නොමැති බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad