ඇමති බස් සංගම් මුලා කරයි? (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 16, 2016

ඇමති බස් සංගම් මුලා කරයි? (VIDEO)

ඇමති බස් සංගම් මුලා කරයි? (VIDEO)

මාර්ග නීති උල්ලංගණය සඳහා අවම දඩ මුදල රුපියල් 2500 කිරීමේ යෝජනාව පිළිබඳ ඊයේ (15) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොකල බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව පැවසූයේ මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු පරිශ්‍ර යේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

කෙසේ වෙතත් පෙරේදා(14) ප්‍රවාහන සංගම් කිහිපයක් සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවි කරුණායක මහතා සඳහන් කළේ මාර්ග නිතී කඩ කිරීමට අදාළ දඩ මුදල් ඉහළදැමීම සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් වැරදි අර්ථකථන සිදුකර ඇති බවයි. 

මාධ්‍ය වෙත කරන මෙම චෝදනාව පිළිබඳ කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතාගෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පැවසූයේ හරි වැරැද්ද කුමක් වුවත් තෝරාගත් වැරදි සඳහා පමණක් එම ගාස්තු අයකරන බවයි.

එම දඩය අයකරනු ලබන තෝරාගත් වැරදි මොනවාද යන්න එහිදී මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී අමාත්‍යවරයා සඳහන් කළේ රුපියල් 2500 දඩ මුදල අය කරනු ලබන්නේ බීමතින් රිය පැදවීම හා රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය කිරීම යන අවස්ථා වලට බවයි.

ප්‍රවාහන සංගම් පෙරේදා මුදල් අමාත්‍යවරයා සමඟ සිදුකළ සාකච්ඡාවෙන් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊයේ(15) දිනයේදී අමාත්‍ය මණ්ඩලය සමඟ මේ පිළිබදව සාකච්ඡා කර විසදුමක් ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ සම්බන්ධයෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසූයේ ඊයේ පෙරවරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී රුපියල් 2500 දඩ මුදල පිළිබඳ සාකච්ඡා නොකල බවත් අයවැයේ වෙනත් කාරණා ගැන සුළු වශයෙන් සාකච්ඡා කළ බවත්ය.

කෙසේ වෙතත්, රථ වාහන අනතුරු අවම කර ගැනීම සඳහා අවම දඩ මුදල රුපියල් 2500 දක්වා ඉහළ නැංවීමට යෝජනා කරන බව පසුගිය 10 වැනි දා මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලියේ සඳහන් වී තිබිණි. 

මෙම යෝජනාවට ප්‍රවාහන සංගම්වල විරෝධය එල්ල වන විට මුදල් අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ දඩ මුදල් ඉහළ නැංවීමේ තීරණයේ කිසිදු වෙනසක් සිදුනොකරන බවයි.

මේ හේතුවෙන් රුපියල් 2500 දඩ මුදල අයකරනවාද, අයකරන්නේ නම් ඒ කුමන වැරදි සඳහාද යන්න තවමත් රජයේ ස්ථීර තීන්දුවක් ගෙන නොමැති බව අනාවරණ වේ.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad