අර්ජුන බිල්ලට දී අගමැති බේරන්නයි හදන්නේ - ගම්මන්පිල (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 8, 2016

අර්ජුන බිල්ලට දී අගමැති බේරන්නයි හදන්නේ - ගම්මන්පිල (VIDEO)

අර්ජුන බිල්ලට දී අගමැති බේරන්නයි හදන්නේ - ගම්මන්පිල (VIDEO)

රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක වැනි ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරුන් බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා මත වරද පටවන්නේ ඔහු බිල්ලට දී අගමැති, රනිල් වික්‍රමසිංහ මහතා බේරා ගැනීමට බව පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (07) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී අදහස් දැක්වූ ගම්මන්පිල මහතා, "රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක සහ දයාසිරි ජයසේකර වැනි ආණ්ඩුවේ ඇමතිවරු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් උඩ පැනලා අර්ජුන්ට බැට දෙනවා.  එතකොට කාට හරි හිතෙන්න පුළුවන්, යහපාලනය අංශු මාත්‍රයක් හරි ආණ්ඩුව තුළ තවමත් ඉතිරි වෙලා තිබෙනවා කියලා. නෑ. මේ අයගේ අරමුණ අර්ජුන් මහේන්ද්‍රන් බිල්ලට දීලා අගමැති බේරා ගැනීමයි. ඒ නිසා තමයි අර්ජුන්ට වහාම නීතිය ක්‍රියාත්මක කරන්න, වෙනම උසාවි පිහිටුවන්න කියලා බෙරිහන් දෙන්නේ. නීතිපති අර්ජුන්ට නඩු පැවරූ විගස මෙය සබ්ජුඩ්සේ හෙවත් අධිකරණය ඉදිරියේ විනිශ්චයට බඳුන් වූ කාරණයක් වෙනවා. එවිට අපට ජනමාධ්‍ය ඉදිරියේ ජනතාව ඉදිරියේ මේ පිලිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වන්න බෑ. ඒ වගේම පාර්ලිමේන්තුවේ විවාද කරන්න බෑ. එතකොට අගමැතිතුමා, ලංකා බැංකුව වගේම අර්ථ සාධක අරමුදල මේ මගඩියට දැක්වූ දායකත්වය රටට කියන්න අපට බැරි වෙනවා.

අගමැතිතුමා වරද පිළිගන්නේ නැති නම් අගමැතිතුමා වැරදි ඇයි කියලා ඔප්පු කරන්න අපට බැඳුම්කර විවාදය පාර්ලිමේන්තුවේ කරන්න ඕනෑ. ඒ ගැන සම්මන්ත්‍රණ හරහා රටට කියන්න අවස්ථාව ඕනෑ. අගමැතිතුමා වගකීම භාර ගන්නවා නම් කිසිම ගැටළුවක් නෑ. වහාම නඩු පවරන්න. නැතිනම් නඩු පැවරීම බැඳුම්කර පිලිබඳ පාර්ලිමේන්තු විවාදය පවත්වන තුරු කල් දමන්න.

අගමැතිතුමා සුද්ද කරන්න කොසු ඉදල් ඔසවා ගෙන මුලින්ම ඉදිරිපත් වුණේ පාඨලී චම්පික රණවක ඇමතිතුමා. අගමැතිතුමා මේ බැඳුම්කර සිද්ධියට වගකිව යුතු ද කියා තීරණය කිරීමට මා සමග විවාදයට එන්න කියලා මම ඇමතිතුමාට අභියෝග කලා.  මට පුළුවන් පාඨලී චම්පිකගේ ප්‍රකාශ හරහාම අගමැති වරදකරු බව ඔප්පු කරන්න.  මම අභියෝග කලා විතරයි සිංහ නාද හකුලා ගෙන නිහඬ වුණා.  පාඨලී චම්පික රණවක ඇමතිතුමනි, ඔබතුමා තවම ප්‍රමාද නෑ. අගමැතිතුමා වරදකරුවෙකු නොවේ කියා අවංකවම විශ්වාස කරනවා නම් එන්න මා සමග විවාදයට" යනුවෙන් කියාසිටියේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අගමැතිවරයා වගකීම භාර ගෙන ඉල්ලා අස්වන්නේ නම් හිටපු මහ බැංකු අධිපතිවරයාට විරුද්ධව නිතිපතිවරයා නඩු පැවරිම පිළිබදව කිසිදු විරෝධතාවයක් නොදක්වන බවයි.

වීඩියෝව පහතින්.

No comments:

Post a Comment

Post Bottom Ad