සයිටම් සෙමි ගවන්මන්ට් කර නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්න නිර්දේශයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, November 24, 2016

සයිටම් සෙමි ගවන්මන්ට් කර නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගන්න නිර්දේශයක්


විවාදයට තුඩුදී ඇති මාලබේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය රාජ්‍ය හා පෞද්ගලික හවුල් ආයතනයක්‌ ලෙස පවත්වාගෙන යැමටත්, නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහල රජයට පවරාගෙන රජයේ රෝහලක්‌ ලෙස පවත්වාගෙන යැමටත් උසස්‌ අධ්‍යාපන පිළිබඳ පාර්ලිමේන්තු අනුකාරක සභාව නිර්දේශ කර සිටී.එම
අනුකාරක සභාවේ සභාපති ලෙස මහාචාර්ය ආශු මාරසිංහ මහතා ද සාමාජිකයන් ලෙස ලසන්ත අලගියවන්න, සුජිත් සංජය පෙරේරා, මුජිබර් රහුමාන්, අන්ගජන් රාමනාදන්, චතුර සංදීප සේනාරත්න, විඡේපාල හෙට්‌ටිආරච්චි යන මහත්වරුන් සහ රෝහිණී කුමාරි විඡේරත්න මහත්මිය කටයුතු කර ඇත.

අනුකමිටු වාර්තාව සභාගත කළ එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා ප්‍රකාශ කළේ නෙවිල් ප්‍රනාන්දු ශික්‌ෂණ රෝහලේ තිබෙන ඇඳන් දහසෙන් ඇඳන් සියයක්‌ මුදල් අය කරනු ලබන වාට්‌ටු ලෙස වෙන්කළ යුතු බවයි. නොමිලේ ලබා දෙන ඇඳන් නවසීයෙන් ඇඳන් හාරසීයක්‌ වෛද්‍ය සැත්කම්, නාරි හා ප්‍රසව විද්‍යා, ළමා රෝග, මනෝ රෝග වැනි ඒකක සඳහා එකකට ඇඳන් අසූව බැගින් ලබාදිය යුතු බවද අනු කමිටු වාර්තාවේ දැක්‌වේ.


ඉතිරි ඇඳන් අක්‌ෂි, විකලාංග, ඊඑන්ටී වැනි අංශ සඳහා වෙන්කළ යුතු බවද පවසන එම වාර්තාව සයිටම් ආයතනයේ සිසුන්ට ලියාපදිංචිය ලබාදීම ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රතික්‌ෂේප කර ඇතැයිද සඳහන් කර ඇත.

මෙම සිසුනට විදේශීය වෛද්‍ය විද්‍යාලවල සිසුනට වඩා වැඩි සායනික පුහුණුවක්‌ ලැබෙන බවද මෙකී ගැටලුව සොයා බැලීම සඳහා අනුකමිටුව පත්කළ බවද මහාචාර්ය ආශු මාරසිංහ මහතා වාර්තාව සභාගත කරමින් කියා සිටියේය.

රට තුළ වෛද්‍යවරුන් හතළිස්‌ දහසක්‌ සිටිය යුතු වුවත් මේ වන විට වෛද්‍යවරුන් විසිපන්දහසක හිඟයක්‌ ඇතැයිද වාර්තාවේ දැක්‌වේ.

සයිටම් ආයතනයට ඇතුළත් කරගනු ලබන සිසුන් අතරින් සියයට විස්‌සක ප්‍රමාණයක්‌ පූර්ණ ශිෂ්‍යත්ව ලෙස රජයේ වෛද්‍ය පීඨවලට ඇතුළත්වීමේ වරම් අහිමිවන සිසුන්ට ලබාදිය යුතු බවද අනුකමිටුව නිර්දේශ කර සිටී.

සයිටම්හි අවසන් විභාගය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ තත්ත්වයට පැවතිය යුතු බවද සයිටම් සිසුන් සඳහා අවිස්‌සාවේල්ල, මුල්ලේරියාව සහ හොරණ යන රෝහල් සායනික පුහුණුවට සම්බන්ධ කර ගත යුතු බවද අනුකමිටුව නිර්දේශ කර තිබේ.
(අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ)

No comments:

Post a Comment

Post Bottom Ad