'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, November 27, 2016

'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට

'අත' ලකුණින් ශ්‍රීලනිපය දිනවන මෛත්‍රීගේ සැලසුම එළියට
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රාහී පක්ෂයක් බවට පත්කිරීමට තමා සූදානම් බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ සිට අභියෝග හමුවේ ඉදිරියට පැමිණ ජයග‍්‍රහණය කළ පක්ෂයක් බව පැවසූ ජනාධිපතිවරයා එය ඉදිරියේදී ද එලෙසින්ම සිදුවන බව කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (26) පෙරවරුවේ ගාල්ල නගර ශාලාවේ පැවති ගාල්ල දිස්ති‍්‍රක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජික ප‍්‍රවර්ධන වැඩසටහන අමතමිනි.

ලබන වසරේ මැද පැවැත්වෙන පළාත් පාලන මැතිවරණවලදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ජයග‍්‍රහණය කිරීමේ වගකීම තමන් ස්ථිරවම ඉටු කරන බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා ඉදිරි මැතිවරණ සඳහා ශ‍්‍රී ලංකා නිදහස්  පක්ෂය තරග කරන්නේ එහි ඓතිහාසික ලාංඡනය වන අත ලකුණෙන් බවත්,  සියලු වාම ප‍්‍රගතිශීලි බලවේග පක්ෂය වටා ඒකරාශි කර ගනිමින් පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙයවන බවත් කියා සිටියේය.

ආණ්ඩුවේ කටයුතුවලදීද පොඩි මිනිසා වෙනුවෙන් පෙනී සිටින, ජනතාවට ආර්ථික සහන සළසන මෙන්ම ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සුරකින පක්ෂයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වගකීම් ඉටු කරන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

උතුරේ අන්තවාදයත්, දකුණේ අන්තවාදයත් ප‍්‍රතික්ෂේප කර රටේ සියලු ජන කොටස්වලට විශ්වාසයෙන් ජීවත්විය හැකි රටක් ගොඩනැගිය යුතු බව පැවසු ජනාධිපතිවරයා ජනාධිපතිවරයා ලෙස තමා වැඩ කළයුත්තේ රටේ සමස්ත ජනතාව වෙනුවෙන් බව ද මෙහිදී කියා සිටියේය.

වංචාව, දූෂණය, අක‍්‍රමිකතාවය බැහැර කර ජනතාවගේ මුදල් සාක්කුවේ දමා නොගෙන අවංකව වැඩ කරන්නේ කෙසේදැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ලෙස රටේ සියලුදෙනාට අලුත් පාඩමක් ඉගැන්වීම අත්‍යාවශ්‍ය වි ඇති බවද පැවසු ජනාධිපතිවරයා පසුගිය රජය සමයේ නිල් වලා ගඟ ව්‍යාපෘතිය සඳහා යැයි පවසමින් සිදුකළ රුපියල් මිලියන 4012 ක මුදල් අක‍්‍රමිකතාවයක් පිළිබඳවද කරුණු අනාවරණය කළේය.

රටේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු වෙනුවෙන් ඇමරිකාවේ ප‍්‍රධාන සහාය ලබාදෙන ලෙස තමා ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා වෙතින් ඉල්ලීමක් සිදුකර තිබෙන බවද පැවසු ජනාධිපතිවරයා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසන් සභාවෙන් මේ වන විට ශී‍්‍ර ලංකාවට ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇමරිකානු නව ජනාධිපතිවරයා වෙත යොමු කර විශේෂ නියෝජිතයින් මාර්ගයෙන් සාකච්ඡා පවත්වා මෙම තත්ත්වයෙන් සම්පූර්ණයෙන් රට නිදහස් කර ගැනීමට කටයුතු කරන බවත් එහිදී ස්ථිරවම ජයග‍්‍රහණය අත් කරගත හැකි බව තමා විශ්වාස කරන බවත් කියා සිටියේය.

ජාත්‍යන්තර දේශපාලනයේ විශිෂ්ට වාමාංශික මානවවාදී නායකයෙකු වූ කියුබාවේ හිටපු නායක පිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා සිය කණගාටුව පළ කර සිටියේය. පක්ෂය සඳහා නව සාමාජිකයින් බඳවා ගැනීම සංකේතවත් කරමින් නව සාමාජික කාඩ්පත් ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර යන මහත්වරුන් ද හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතා ඇතුළු ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මැති ඇමතිවරු සහ නියෝජිතයින් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad