තිසර බරිසාල් බුල්ස් පිල දිනවයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 11, 2016

තිසර බරිසාල් බුල්ස් පිල දිනවයි

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගය ලෙස කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායමට එරෙහිව මීර්පූර්හි ශ්‍රේරේ බංග්ලා ක්‍රීඩාංගණයේදී අද (11 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට තිසර පෙරේරා සහ ඩිල්ෂාන් මුණවීර ක්‍රීඩා කරන බරිසාල් බුල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 130 ක ඉලක්කයක් හඹාගිය බරිසාල් බුල්ස් ක්‍රීඩකයෝ පන්දු 9 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ. වේගවත් පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා පන්දු 20 කදී දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 34 ක් රැස්කරමින් බරිසාල් කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

නායක මුෂ්ෆිකුර් රහීම් (33) සමග එක්ව බරිසාල් කණ්ඩායමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 49 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද තිසර සමත් විය. පන්දු 23 කදී වාර්තා වූ රහීම්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.

බරිසාල් බුල්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස කටයුතු කරන ඩිල්ෂාන් මුණවීර හතරේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් ලබා සිටියදී ඉම්ඩාඞ් වසීම්ගේ පන්දුවක් හමුවේ මාලන් සැමුවෙල්ස් අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 129 ක් රැස්කළ අතර වික්ටෝරියන්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ මාලන් සැමුවෙල්ස් පන්දු 48 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 48 ක් රැස්කළේය.

වික්ටෝරියන්ස් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු 19 කින් නොදැවී ලකුණු 30 ක් රැස්කිරීමට සොහේල් තන්වීර් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් අන්තර්ගත විය.

බරිසාල් කණ්ඩායමේ සාර්ථකම පන්දුයවන්නා වූ අබූ හයිඩර් ඕවර 4 ක් යවා ලකුණු 34 කට කලීඞ් ලතීෆ්ගේ සහ මෂ්රෆී මොටාසාගේ කඩුලු දවාගත්තේය. ඔහුට අනගි සහයක් දුන් තිසර පෙරේරා සිය ඕවර 4 ලකුණු 20 කට සීමා කරමින් නහිදුල් ඉස්ලාම්ගේ කඩුල්ලද දවාගැනීමට සමත් විය.

කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 කට 129
(නස්මුල් හුසේන් 16, මාලන් සැමුවෙල්ස් 48, සොහේල් තන්වීර් නොදැවී 30, අබූ හයිඩර් 34/2)

බරිසාල් බුල්ස් කණ්ඩායම - ඕවර 18.3 කදී කඩුලු 4 කට 130
(ඩිල්ෂාන් මුණවීර 15, ශම්සුර් රෙහෙමාන් 16, ඬේවිඞ් මැලන් 26, මුෂ්ෆිකුර් රහීම් 33, තිසර පෙරේරා නොදැවී 34)

No comments:

Post a Comment

Post Bottom Ad