ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 4, 2016

ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා

ඇතැම් මූල්‍ය සමාගම් උතුරු වැසියන් උග්‍ර ණයකරුවන් කරලා

යුද්ධයෙන් පසුව එළඹි සාම කාලයේදී ඇතැම් මූල්‍ය සමාගම් උතුරු ප්‍රදේශයේ වැසියන්ගේ නිවෙස්වලටම පැමිණ ජනතාව මුලා කොට අධික පොලියට ණය ලබාදීම නිසා ජනතාව ණය බරින් මිරිකී සිටින බව උතුරු පළාතේ දේශපාලන නායකයින් පවසයි.

අධික පොලියකට ලබාගත් ණය මුදල්වල වාරික ගෙවාගැනීමට නොහැකිව මිනිසුන් සියදිවි හානිකර ගන්නා තත්ත්වයකට පත්ව සිටීම ඉතා සෝචනීය කාරණයක් බව දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතා කියාසිටියේය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ 26 හැවිරිදි කාන්තාවක් සිය ණය මුදල ගෙවාගැනීමට නොහැකිව තමන්ගේ වයස දෙකහමාරක දරුවා ද සමග ඊයේ (03) අළුයම ළිදකට පැන සියදිවි හානිකර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මියගොස් සිටි නාගනාදන් සුගන්දිනී නමැති කාන්තාවගේ ස්වාමිපුරුෂයා පොලීසියට ප්‍රකාශ කොට තිබුණේ නිවසටම පැමිණ එක්තරා මූල්‍ය සමාගමක් ඇයට රුපියල් 25000 ක ණය මුදලක් ලබාදුන් බවයි.

එහි ණය වාරිකය ගෙවාගැනීමට නොහැකිව ඇය දුකසේ කල් ගෙවූ බවද ඔහු පොලීසියට පවසා තිබුණි.

ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් කියාසිටියේ ජනතාව රවටවමින් ඔවුන්ට විවිධ දේ කියමින් මූල්‍ය සමාගම් උතුරු පළාතේ වැසියන්ට නිවෙස්වලටම පැමිණ අධික පොලියට ණය ලබාදීම නිසා ඔවුන් ණය බරින් මිරිකී සිටින බවයි.

උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියේ සාමය එළඹීමත් සමගම මූල්‍ය ආයතන උතුරු හා නැගෙනහිර පළාත්වලට සිය ගණනින් පැමිණ පළාත ආක්‍රමණය කොට ඇති බවකි.

මියගිය දෙදෙනා වෙනුවෙන් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය වූයේ මෙය සියදිවි හානිකර ගැනීමක් බවයි.

වවුනියාව පොලීසියේ උපදෙස් මත ඕමන්ත පොලීසිය විසින් සිද්ධිය පිළිබදව පරීක්ෂණ මෙහෙයවයි.

දිනසේන රතුගමගේ

No comments:

Post a Comment

Post Bottom Ad