අයිසේ-තමුසේ-වට්ටක්කයා කලවැද්දා-නාකි වවුලා-ව්‍යාඝ්‍රා – මේ අපි උඩ පැන පැන ඡන්දේ දුන්න අයගේ කටවල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, November 23, 2016

අයිසේ-තමුසේ-වට්ටක්කයා කලවැද්දා-නාකි වවුලා-ව්‍යාඝ්‍රා – මේ අපි උඩ පැන පැන ඡන්දේ දුන්න අයගේ කටවල්

පාර්ලිමේන්තුව ඊයේ (21දා) කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමෙන් පසුව කතානායකවරයා විසින් කරන ලද ප්‍රකාශයක් කෙරෙහි බොහෝ දෙනකුගේ අවධානය යොමු විය.

ඒ ඊයේ සිට අයවැය විවාදය අවසන් වන දෙසැම්බර් 10 වැනිදා දක්වා අයවැය විවාදය දිනපතා සජීවී ලෙස විකාශය කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව කතානායක කරු ජයසූරිය මහතා මැති සබයට දැනුම් දීමයි.

“අයවැය විවාදය සජීවී ලෙස විකාශය කිරීම ඉතාම වැදගත්. මුළු රටටම අයවැය විවාදය සජීවීව නැරඹීමට හැකි නිසා ආදර්ශවත්ව කටයුතු කරන ලෙස සියලුම ජනතා නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන්ද කතානායකවරයා පැවැසුවේය.

“මේක ඉතාමත් වැදගත් දෙයක්. මෙවැනි සජීවී විකාශයක් අවශ්‍යයි කියලා කාලයක් තිස්සේම කතා වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ වැඩ කටයුතුත් සජීවී ලෙස විකාශය කරනවා නම් හොඳයි. ඒක ඉතා වැදගත්. ඒක තමයි මේ රටේ ජනතාවගේ අනාගත ලියවිල්ල බවට පත්වෙන්නේ” යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි බුද්ධික පතිරණ මහතාද සජීවී විකාශය සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තුව ඉදිරිපිට ජයන්තිපුර උද්‍යාන ප්‍රදේශයේ පුළුල් තිරයක් මත පාර්ලිමේන්තුවේ විවාද කෙරුණු සජීවී විකාශය එම ස්ථානයේ දැන් සිදු නොකෙරෙන බවත් එතැන සිටින ආරක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසට නැරඹීම සඳහා යළිත් එම පුළුල් තිරයේ සජීවී ලෙස විකාශන කටයුතු සිදු කරන ලෙසත් බුද්ධික පතිරණ මහතා ඉල්ලා සිටියේය.

ඒ ගැන අවධානය යොමු කරන බව කතානායක කරු ජයසූරිය මහතා කියා සිටියේය.

“සජීවී ලෙස අයවැය විවාදය ක්‍රියාත්මක කිරීම හොඳයි. අයවැය විවාදය පමණක් නොවෙයි පාර්ලිමේන්තු රැස්වීම් දිගටම සජීවී ලෙස විකාශය කරවන්න” යනුවෙන් ඉල්ලීමක් කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා විසිනි.

සජීවී විකාශය ගැන එසේ කතාකර වැඩි වේලාවක් ගියේ නැත. පාර්ලිමේන්තුවේ ඇති වූ දැඩි උණුසුම්කාරී වචන හුවමාරු සහ උණුසුම්කාරී තත්ත්වයක් උණු උණුවේම සජීවී විකාශය හරහා මුළු රටටම බලාගත හැකි වීම විශේෂත්වයකි. මෙම උණුසුම්කාරී තත්ත්වයන් සමහර අවස්ථාවලදී ඇති වූ දෙබස් සමඟ මුළු මැති සබයම රසවත් වූ ආකාරයන්ද දක්නට ලැබිණි.

“අයිසේ, තමුසේ, වට්ටක්කයා, කලවැද්දා, නාකි වවුලා, ව්‍යාඝ්‍රයා, කොටු පැනීම්, පිරිමි ගණිකාවන්, නිළි මස් ඇතුළු වචන හා දෙබස්වලින් මැති සබය තුළ රැව් දුන්නේ එම වාක්‍ය ඇතුළත් වාක්‍යද උණු උණුවේම සජීවී ලෙස රටටම විකාශය කරමිනි.

අය-වැය කාරක සභා අවස්ථාවේදී ඊයේ (21දා) විවාදයට ගැනුණේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු, අධිකරණ, නීතිය හා සාමය සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍යාංශවල වැය ශීර්ෂයන්ය.

දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මුලින්ම ඇතිවූයේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා අතරය.

සරත් අමුණුගම ඇමැතිතුමා දක්‍ෂ ලෙස විශ්ලේෂණය කළා. එතුමාගේ රෝග විනිශ්චය ඉතා හොඳයි. නමුත් ප්‍රතිකාරවලට එතුමලගේ ආණ්ඩුවට බෙහෙත් නැහැ. ඒක මේ අය-වැය මඟින් පෙනෙනවා. ජාතික සැලසුම් හා අය-වැය අතර තියන සම්බන්ධතාව අපට හොයගන්න බැහැ. 


කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබාදෙන්න වෙන්කරලා තියෙන රුපියල් මිලියන 500 කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ’ යනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.

‘සභාව නොමඟ යවන්න එපා. බොරු කියන්න එපා’ යනුවෙන් නැඟී සිටිමින් ඊට විරෝධය පළ කළේ නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයාය.

‘මගේ කාලය ලබාදෙන්න බැහැ. මගේ කාලය කන්න එපා. ඔය තොරතුරු ඔය පැත්තේ කතා කරන වෙන කෙනකුට ලබාදෙන්න. ණය ගෙවන්න කියලා මේ ආණ්ඩුව ගෙනයන ආර්ථික ප්‍රතිපත්තිය නිවැරැදිද? එදත්, අදත් හෙටත් එක්සත් ජාතික පක්‍ෂයේ එකම ප්‍රතිපත්තිය කොම්පැනිකරණයයි. 


ණය බේරගන්න බැරුව අපේ ගෑනි ණයකාරයාට දෙනවද? ණය බේරගන්න බැරුව අපේ දරුවන් ණයකාරයාගේ වහල්කමට ලබාදෙනවද?’ යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා වේගවත් කතාවක් කළේය.

මෙම කතාවට නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා නැඟී සිටිමින් යමක් ප්‍රකාශ කළ අතර ඒ මහතාගේ මයික්‍රෆෝනය ක්‍රියාත්මක නොවී තිබීම සහ මැතිසබයේ පැවැති දැඩි ඝෝෂාකාරී තත්ත්වය හේතුවෙන් නිරෝෂන් පෙරේරා මහතා කළ ප්‍රකාශය ශ්‍රවණය නොවීය.

කෙසේ නමුත් එම ප්‍රකාශයට ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාට යකා නැග්ගේය.

‘මගෙන් කුණුහරුප අහගන්නේ නැතිව වාඩිවෙනවා. ඕයි තමුසේ කියන්නේ මොකක්ද?’ යනුවෙන් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කරන විට යළිත් මැතිසබයේ ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයකි.

‘ආපසු වාසුදේව මන්ත්‍රිවරයා ඉස්කෝලේ ගිහිල්ලා කතා කරන්න ඉගෙන ගෙන එන්න’ යනුවෙන් නිරෝෂන් පෙරේරා රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කිරීමත් සමඟ මැතිසබය යළිත් උණුසුම්කාරී විය.

‘මේ මව්බිම වෙනුවෙන් දිවිපිදූ මිනිස්සු මිනී වළේ ඉඳගෙන ශාප කරාවි. ඒක නිසා මේ රට විකුණන්න එපා. මේ පිස්සු කතාවලින් පේන්නේ ආණ්ඩුව හරි මාර්ගයක නොයන බවයි’ යනුවෙන් වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා ප්‍රකාශ කෙළේය.

‘වට්ටක්කයා, වට්ටක්කයා’ යනුවෙන් ඒ අවස්ථාවේදී උස් හ¾ඩින් කෑගැසුවේ එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාය.

ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ ජනතා නියෝජිතයන් කෑකෝ ගසමින් බාධා කළාට වාසුදේව නානායක්කාර මහතා එම ඝෝෂාව මධ්‍යයේ දිගටම කතා කරගෙන ගියේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධිය ගැන කිසිම පරීක්‍ෂණයක් සිදුකරෙන්නේ නැහැ. නීතිපතිතුමාවත්, එෆ්.සී.අයි.ඩී. (F.C.I.D.) ආයතනයවත් ක්‍රියාකරන්නේ නැහැ. මේ බැඳුම්කර වංචාවට අගමැතිතුමා වගකිව යුතුයි. ඒක නිසා අගමැතිතුමා ඉල්ලා අස්විය යුතුයි’ යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා ඉතා වේගයෙන් කතා කරන්නට විය.

කතාව අවසන් කරන ලෙසට මූලාසනයේ සිටි නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා දැනුම් දුන්නද වාසුදේව නානායක්කාර මහතා දිගටම කතා කළේය.


විදේශ රැකියා හා සුබ සාධන අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මියද නැඟී සිටිමින් කෑගසමින් කියා සිටියේ අග්‍රාමාත්‍යවරයාට අපහාස නොකරන ලෙසයි.


‘වට්ටක්කයා වාඩිවෙන්න, වට්ටක්කයා වාඩිවෙන්න’ යනුවෙන් කෑගැසුවේ නලින් බණ්ඩාර මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ය.


‘නාකි වවුලාට ව්‍යාඝ්‍රායා හම්බවුණා කියලා මං මොනවා කරන්නද?’ යනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නැඟී සිටිමින් කළ කතාවට සියල්ලෝම සිනහසුණහ.


ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා විවාදයට එක්වූ අවස්ථාවේදීද මැති සබය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් මෙන්ම රසවත් වන ආකාරයක්ද දක්නට ලැබිණි.


අය-වැයට දැඩි ප්‍රහාරයක් එල්ල කළ කෙහෙළිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේ ජනතාවට පීඩා නොවන ආකාරයෙන් අය-වැය යෝජනා 10ක් සංශෝධනය කිරීමට ජනාධිපතිතුමා මැදිහත්වී තිබෙන බවයි. එය පුවත්පතක සඳහන් වී තිබෙන බවද රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

ඊට පිළිතුරු ලබාදෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කෙළේ එම කතාව පත්තරයත් සමඟ බේරාගන්නා ලෙසයි.

‘මේ ප්‍රවෘත්තිය වැරැදියි කියලා ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද නිවැරැදි කිරීමක් කරලා නැහැ. මේ ප්‍රවෘත්තිය පළවෙලා තිබුණේ ඔබතුමාගේ මාමගේ පත්තරේ යනුවෙන් ප්‍රකාශ කරමින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා තමා අත තිබූ පුවත්පත් වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්නුවේය. 


‘මාමාගේ පත්තරේ අපිට විරුද්ධව ලියපු අයත් හිටියා. ඒ අය මාමා තවම එළවලා නැහැ. පත්තරකාරයෝ මොනවා ලියනවාද දන්නේ නැහැ’ යනුවෙන් සිනහ වෙමින් ඊට පිළිතුරු ලබාදුන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය.

ඉන්පසුව කෙහෙළිය රඹුක්වැල්ල මහතාට නැඟී සිටිමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් නොකරන ලෙසට දෝෂාරෝපණය කළේ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාය.


‘කලවැද්දෙක් ඇවිල්ලා. වහාම මේ කලවැද්දා කූඩුවට දාන්න. මේ කලවැද්දා කානුවල රිංගනවා. බෝක්කු අස්සේ රිංගනවා. මේ කලවැද්දාගෙන් හරිම කරදරේ’ යනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.

මෙහිදී සභාවේ දැඩි උණුසුම්කාරී මෙන්ම ඝෝෂාකාරී තත්ත්වයක් ඇතිවූ අතර එහිදී යමක් ප්‍රකාශ කිරීමට නැඟී සිටියේ එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාය.


“ඕස්ට්‍රේලියාවට ගිහිල්ලා කොටු පැනලා තියෙනවා. ඒ කාලේ නිළිමස් ගැනත් කතා වුණා” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.


“මේ කෑගහන එකෙකුටවත් කොටුවක් පැනගන්න පණ නැහැ. ඉතින් මේ බහුතරයකට කොටුවක් පැනගන්න බැරි එකට මම මොනවා කරන්නද? යනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ මුළු මැතිසබයම සිනහගන්වමිනි.

“කොටු පැන්නට කමක් නැහැ. ජනතාවගේ මුදල් රුපියල් ලක්ෂ ගණනක් ඒකට යොදන එකයි වැරදි” යනුවෙන් ප්‍රකාශ කළේ සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සේවා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාය.

“පිරිමි ගණිකාවක් වෙනවාට වඩා ඒක සැපයි. සල්ලි තියෙන නාකි ගෑනු දෙතුන් දෙනෙක් මං හොයලා දෙන්නම්. එතකොට ඔය අමාරුව හරි යයි.
එක්සත් ජාතික පක්‍ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා මේ අවස්ථාවේදී නැඟී සිටියේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට යම් පිළිතුරක් ලබාදීමටයි.


“ඔබතුමා ‍ෙදාර තියෙද්දී ජනේලයෙන් පැන්නේ ඇයි?” යනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අළුත්ගමගේ මහතා විමසුවේය.

“ඔබතුමාට නැති තදියමක් මට තිබුණා. නමුත් ඔබතුමාලාට පැය 3කට කලින්වත් සූදානම් වෙන්න ව්‍යාඝ්‍රා ගන්න වෙනවා” යනුවෙන් කෙහෙළිය රඹුක්වැල්ල මහතා කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුණහ.


වාසුදේව නානායක්කාර මහතාගේ බිරිය වසර 10ක් ජනාධිපති කාර්යාලයේ උපදේශිකාවක ලෙස සේවය කළ බව මෙහිදී නැඟී සිටිමින් ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්‍ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතාය.

මීට පිළිතුරු ලබාදීමට යළි නැඟී සිටියේ ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතාය.

“මං ඇමැති වුණු නිසා තමයි නෝනට උපදේශකකමක් ලැබුණේ. කලින් මට ලැබුණු ඇමැතිකම ගැන අහන්නේ නැතුව නෝනගේ උපදේශකකම මේ මන්ත්‍රිතුමා අහන්නේ කුපාඩිකමට” යනුවෙන් ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර මහතා කළ ප්‍රකාශයට සියල්ලෝම සිනාසුනහ.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

No comments:

Post a Comment

Post Bottom Ad