ප්‍රකාශ පරස්පරයි: අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණ සැකසහිතයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, November 18, 2016

ප්‍රකාශ පරස්පරයි: අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණ සැකසහිතයි

ප්‍රකාශ පරස්පරයි: අන්තරේ සිසුන් දෙදෙනාගේ මරණ සැකසහිතයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් දෙදෙනෙකු ගම්පහ ඉඹුල්ගොඩ දී සැක කටයුතු ලෙස මියයාමේ සිදුවීම පිළිබඳව රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂි සම්පින්ඩනය එකිනෙක පරස්පර බව මියගිය සිසුන් දෙදෙනාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය ඊයේ (17) ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට දැනුම් දුන්නාය.

ගම්පහ ඉඹුල්ගොඩ හංදියේ රිය අනතුරක් බව අලුයම 4.30ට පමණ වාර්තා වී එහි ගිය බව සහ ඒ වන විට සිසුන් දෙදෙනා අත පය සොලවනවා දුටු බවට පොලිසිය ප්‍රකාශ ලබා දී ඇතැයි ද,  එම සිසුන් දෙදෙනා උදේ 7.30ට පමණ මිනී කාරයකින් රෝහලට ගෙන ගිය බවට හා ඒ වන විට දෙදෙනා මිය ගොස් සිටි බවට මල්ශාලා සේවකයන් ප්‍රකාශ ලබා දී ඇතැයි ද, උදෑසන 4.30 වන විට පණ පිටින් සිටි සිසුන් දෙදෙනා උදේ 7.30 වනතුරු රෝහලට ගෙන නොගොස් මිනී කාරයක් ගෙන්වාගෙන ඔවුන් රෝහලට රැගෙන යෑම ගැන බරපතල සැකයක් ඇතැයි ද නීතීඥ රාජිකා සිල්වා මහත්මිය එහිදී ප්‍රකාශ කළාය.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරී සිසුන් දෙදෙනකු 2012 සැප්තැම්බර 27 වැනිදා මිය යෑමේ සිදුවීම සම්බන්ධ පැමිණිල්ල ඊයේ ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ නීතීඥවරිය රහස් පොලිසියේ සාක්ෂි සම්පිණ්ඩනය ඇසුරෙන් එම සැකකටයුතු තැන් මෙසේ මතු කළාය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය 06% අරගලයට සහාය දීමක් ලෙස මහනුවර සිට කොළඹට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාගමනක් සංවිධානය කර තිබිණි. එම පාගමන අතරතුර අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වී තිබිණි. සිද්ධියෙන් මිය ගියේ කැලණිය විශ්වවිද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්වවිද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා යන දෙදෙනාය. ඔවුහු අනතරේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ.

මියගිය සිසුවකුගේ ජංගම දුරකතනයක් සම්බන්ධ වැරදි වාර්තාවක් දුරකතන සේවා සමාගමක් ලබා දුන් බවත්, ඒ ගැන නීතිමය කටයුතු කරන ලෙස මීට පෙර සිටි මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බවත්, රහස් පොලිසිය එම සමාගමට නඩු පවරනවා වෙනුවට මෙය අතපසුවීමක් බවට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, නඩුවක තීරණාත්මක සාධයක් වන දුරකතන වාර්තා අතපසුවීමකින් වැරදිය නොහැකි බවත් නීතීඥවරිය අධිකරණයට දැනුම් දුන්නාය.

මෙතෙක් කළ විමර්ශන අනුව සැකකටයුතු යමක් අනාවරණය වී නැතැයි ද, ශ්‍රීපති සූරියආරච්චි සිදුවීම ඇතුළු සිදුවීම් කිහිපයක අත්දැකීම් අනුව බලන කළ මෙය සාමාන්‍ය රිය අනතුරක් බවට සැකයක් නැතැයි ද රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් මේ සිදුවීමේ සැකකටයුතු යැයි කියන තැන් ගැන නීතීඥ රාජිකා සිල්වා මහත්මිය පෙන්වා දුන් කාරණා සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතා රහස් පොලිසියට නියෝග කළේය.

මෙම නඩු විභාගය සම්බන්ධ වැඩිදුර කඳවීම දෙසැම්බර් 08 වැනිදාට කල් තැබිණි.

නඩු විභාගය දැක බලා ගැනීමට මිය ගිය සිසිත ප්‍රියංකර සිසුවාගේ ඥාතීන් ද, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් ද පැමිණ සිටියහ.

No comments:

Post a Comment

Post Bottom Ad