‘මං දිසාපතිගේ බෙල්ල ගලවනවා’ මන්ත‍්‍රී චමින්ද.. ‘මොකද්ද මිනිහෝ බලාගන්නේ.. දැන් බලාගමු..’ ඇමති හරීන්… - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, November 22, 2016

‘මං දිසාපතිගේ බෙල්ල ගලවනවා’ මන්ත‍්‍රී චමින්ද.. ‘මොකද්ද මිනිහෝ බලාගන්නේ.. දැන් බලාගමු..’ ඇමති හරීන්…

උමාඔය ව්‍යාපෘතිය සම්බන්ධ ප‍්‍රශ්නයක් මත ඊයේ (21) පාර්ලිමේන්තු ආලින්දයේ දී අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු හා බදුල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චමින්ද විජේසිරි මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය.

උමාඔය ව්‍යාපෘතිය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ ගැටලූ සාකච්ඡ කිරීමට ලබන 23 වැනි දා හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ සූදානම් කර තිබූ සංචාරයකට එක්වන ලෙස අමාත්‍යවරයා චමින්ද විජේසිරි මන්ත‍්‍රීවරයාට ආරාධනා කළ අවස්ථාවේ මෙම උණුසුම් වචන හුවමාරුව සිදුවිය.

මෙම සංචාරය පසුගිය 20 වෙනි දින සිදු කිරීමට නියමිතව සිටි මුත් එදිනට දිස්ත‍්‍රික්කයේ අදාළ වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ කර ගැනීමට ඇති අපහසුතාව තුළ බදාදා දිනය තෙක් තම සංචාරය කල් දැමීමට අමාත්‍යවරයා තීරණය කළේය.

එදින හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා අයවැය විවාදයට සහභාගී වීමට පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණෙද්දී විජේසිරි මන්ත‍්‍රීවරයා ආලින්දයේ සිටිනු දුටුවේය.ඒ අවස්ථාවේදී තමන් බදාදා බණ්ඩාරවෙල ප‍්‍රදේශයේ නිරීක්ෂණ සංචාරයක නිරත වන බවත් ඒ සදහා තමන් සමග එක්වන ලෙසත් ඔහු මන්ත‍්‍රීවරයාට ආරාධනා කළේය.

‘ඇයි මට පරක්කු වෙලා කිව්වේ?අපි බදාදාට බලාගමු.කොහොම වුණත් මම ඒ දිසාපතිගේ බෙල්ල ගලවනවා.ඌ කොහොමද මට නොදන්වා නිලධාරීන් කැදවන්නේ.බණ්ඩාරවෙල කියන්නේ මගේ වැයික්කිය’

මන්ත‍්‍රීවරයා එසේ පවසා ඇත.ඒ අවස්ථාවේදී හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා පවසා ඇත්තේ දේශපාලඥයකු වන තමන් රාජ්‍ය නිලධාරීන් කැදවීම නුසුදුසු නිසා දිස්ත‍්‍රික්කයේ ප‍්‍රධාන සිවිල් නිලධාරියා ලෙස දිසාපතිවරයා එය සිදු කළ බවය.

‘මම මේ පළාතේ වැඩියෙන්ම ඡන්ද ගත්ත කෙනා.ඒ එක්කම කැබිනට් ඇමැති කෙනෙක්.මට අවශ්‍ය නම් ඔය  ඕන නිලධාරියෙක්ව කැදවන්න තිබුණා.නමුත් එහෙම කරන එක හරි නැති නිසයි ඒකට ඇගිලි නොගැහුවේ’.

හරීන් ප‍්‍රනාන්දු අමාත්‍යවරයා අනතුරුව පවසා තිබේ.

‘ආහ් එහෙම නම් කරන හැටි බලමුකෝ.එදාට අපි බලාගමු’ යනුවෙන්  මන්ත‍්‍රීවරයා පවසද්දී ඇමැතිවරයාගේ රතු කට්ට පැන්නේය.

‘මොකද්ද මිනිහෝ බලාගන්නේ බලාගන්න තියෙන දෙයක් දැන් බලාගමු’.

කියමින් හරීන් චමින්ද දෙසට හැරුණේය.ඒ අවස්ථාවේදී මන්ත‍්‍රීවරයා පසුපසට ගිය අතර අවට සිටි ෆයිසර් මුස්තාෆා,අනෝමා ගමගේ,වඩිවේල් සුරේෂ් හා නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරු මැදිහත්ව තත්ත්වය සමනය කිරීමට කටයුතු කළහ.මෙම සිදුවීම පිළිබදව එ.ජා.ප මහ ලේකම්වරයා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද දැනුවත් කිරීමට සිද්ධිය සියැසින් දුටු මැති ඇමැතිවරු කටයුතු කළ බව වාර්තා වේ.

– Rivira

No comments:

Post a Comment

Post Bottom Ad