දෙරණට තර්ජනයක්

මා දෙරණ නරඹන්නේ වෙනත් රූපවාහිනී නාලිකාවක් නැති කමට. එහි ප්‍රවෘත්ති, දෙරණ අරුණ හා සිදු නරඹනවා. ඉඳහිට 360ත් නරඹනවා. අනෙක් වැඩ සටහන් නම් එතරම් ගත යුත්තක් නැහැ. සමහර වැඩ සටහන් ඉදහිට නැරඹෙනවා. වාදවලින් නම් සත පහක වැඩක් නැහැ. මාත් ඉස්සර ඒවාට සහභාගි වුනා. ඒත් ඒවායින් වන්නේ මගේ රුධිර පීඩනය වැඩිවන එක පමණයි. මේ වාදවලින් නරඹන කිසිවකු තම අදහස් වෙනස් කරගන්නවා කියා මා හිතන්නේ නැහැ. පහුගිය පෝය දවසෙ නොපෙනෙන මානය බැලුවා. පෝය දවසෙ පව් සිද්ධවුනා. මා ඒ ගැන පසුව ලියන්නම්.

දෙරණ ඔය කියන තරම් අපේ කමක් රකින්නේ නැහැ. අලුත් දේ අවශෝෂණය කරන්න දන්නෙත් නැහැ. ඔවුන් කරන්නේත් අනුකරණය. අද ඔවුනුත් වෙළෙඳ දැන්වීම් වැඩි කර ගැනීමට තරග කරනවා. ඒත් ඒක කරන්න වෙනත් ක්‍රම තිබෙනවා. සිදු වැනි වැඩ සටහන් තවත් අවශ්‍යයයි. මා හිතන්නේ එය ගමට යන බවයි. අනෙක් ජනමාධ්‍ය මෙන් ම දෙරණත් ඉලක්ක කරන්නේ විශ්වවිද්‍යාල වටා කරකැවෙන පුහු ප්‍රබුද්ධයන්ට, නාගරික තරුණයන්ට හා ටෙලිනාට්‍ය ගෘහණියන්ට. ඔවුනුත් බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී සංස්කෘතිය ගමට ගෙන යනවා. මේ සංස්කෘතිය කඩා වැටෙමින් පවතින බව ඔවුන් දන්නේ නැහැ. මට කණගාටු එහි ඇතැම් ප්‍රධානීන් කොළඹ විශ්වවිද්‍යාලයේ ගවේෂකයෝ සංවිධානයේ සංවාදවලටත් සහභාගි වී එතරම් දෙයක් ඉගෙන නොගෙනීම. ඔවුන් චතුස්කෝටිකයේ ඇතැම් අංග නම් මතුපිටින් අහුලා ගෙන තියෙනවා.

අද දෙරණට තර්ජනයක් කරලා. දෛවයේ සරදමකට මෙන් තර්ජන ලිපිය එවා ඇති ජනමාධ්‍ය ලේකම් ද එකල කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. ඔහු ගවේෂකයෝ සංවාදවලට සහභාගි වුනා ද කියා මට මතක නැහැ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමති නම් ඒ සංවාදවලට සහභාගි වුනා. කොහොමටත් එකල සිටි ඇතැම් සිසුන් චතුස්කෝටිකය අනුව යමින් දෝ එකවිට තැන් කිහිපයක ඉන්නවා. මහින්ද රාජපක්‍ෂත් එදා මගේ ලෝකය සම්මන්ත්‍රණයේ දී ඒ බව සඳහන් කළා. එකල කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි සිසුන් බොහෝ දෙනකු අද ජනමාධ්‍යයේ, ඊනියා සිවිල් සමාජයේ හා දේශපාලනයේ දැකගන්න පුළුවන්. විශ්වවිද්‍යාලයකින් එක් සීමිත කාලයක දී මෙතරම් පිරිසක් බිහිවීම වැදගත්. ඒත් ඔවුන් බොහෝ දෙනා මට විරුද්ධයි.

අමාත්‍යාංශ ලේකම්වරුන්ට දේශපාලන නිදහසක් නැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. මේ අය ආණ්ඩු සේවකයන් මිස රාජ්‍ය සේවකයන් නොවෙයි. රාජ්‍යයක් කියලා එකක් ලංකාවෙ තියෙන්නෙ නමට පමණයි. ආණ්ඩුව කරන්නෙත් දේශපාලනයක්. ඒත් ඔවුන් කියන්නේ විපක්‍ෂය පමණක් දේශපාලනය කරන බවයි. ආණ්ඩු රාජ්‍ය පාලනය කරන්නෙ නැතිව ආණ්ඩු සේවකයන්ට රාජ්‍ය සේවකයන් වන්න බැහැ. අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කෙරෙන්නේ ජනාධිපති විසින්. ඒත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට ඇමතිවරයකුත් ඉන්නවා. අමාත්‍යවරයා එ ජා පක්‍ෂයේ නම් අමාත්‍යාංශ ලේකම්ට චතුස්කෝටිකය මිස ද්විකෝටිකයක් නැහැ. එකවිට කීප තැනක ඉන්න වෙනවා.

ජනමාධ්‍ය ලේකම් දෙරණට ලිපියක් එවා ඇත්තේ ජනාධිපතිගේ කතාවක් විකෘත කළැයි කියලා. ඒ බව ඒ දවස්වල මෛත්‍රිපාලත් කිවුවා. ඔහු දෙරණට නොවෙයි, ජනමාධ්‍යවලට පොදුවේ තම කතාව විකෘත කළ බවට චෝදනා කළ බවයි මගේ මතකය. මට තෙරුම් ගිය විධියට ප්‍රශ්නය වෙලා තිබුනෙ උසාවියට ගෙන ගියේ හිටපු ආරක්‍ෂක ලේකම් ද ගෝඨාභය රාජපක්‍ෂ ද කියන එක. ඒක ජනාධිපති ද මෛත්‍රිපාල ද කියලා අහනවා වගේ. ඒ ගැන මා ඒ දිනවල ම ලිවුවා. මෛත්‍රිපාලගෙ එක භූමිකාවක් තමයි ජනාධිපති වීම. ඒත් මෛත්‍රිපාල වීම ජනාධිපතිගෙ එක භූමිකාවක් නො වෙයි.

කොහොමටත් ජනමාධ්‍ය ලේකම් මෙතන දි ක්‍රියාත්මක වෙලා තියෙන්නෙ ජනාධිපතිගෙ කීමට ද නැත්නම් ජනමාධ්‍ය ඇමතිගෙ කීමට ද? ජනමාධ්‍ය ලේකම් නම් කියයි තමන්් ස්වාධීනව ලිවුවා කියලා. දෙරණත් හැසිරෙන්න ඒ විධියට හිතාගෙන. දෙරණ කොහොමටත් තම තරංග පරාසය ආරක්‍ෂා කරගන්න ඕන. මට නම් ආරක්‍ෂා කරගන්න තරංග නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයෙ නීති පීඨයෙ ඉගෙන ඇත්තේ ජනමාධ්‍ය ලේකම්, නැහැ නිමල් බෝපගේ විතරක් නොවෙයි. රනිල් වික්‍රමසිංහත් එකෙ ඉගෙන ගත් අයෙක්. ඔවුන් කවුරුත් නීතිය දන්නවා. නීතිය නවන්න විතරක් නොවෙයි නීතියෙ හිල් හොයාගන්නත් දන්නවා. කොහොමටත් නීතිය බූරුවෙක් කියලා බටහිර කතාවක් තියෙනවා. මට නම් හිතෙන්නෙ නීතිය ගණිකාවක් කියලා. එයින් තම දරුවන් රැක ගැනීමට ඒ කටයුත්තේ යෙදෙන අසරණ කාන්තාවන්ට අගෞරවයක් නොවේවා කියලා පතනවා.

අපි මෙහෙම අහමු. ජනමාධ්‍ය ඇමති වැඩ කරන්නෙ ජනාධිපතිගෙ කීමට ද? අගමැතිගෙ කීමට ද? ඒ තුන්දෙනාගෙන් එක් අයකුගෙන්වත් නිවැරදි පිළිතුරක් බලාපොරොත්තු වෙන්න බැහැ. අදාළ ලිපිය පැහැදිලිව ම තර්ජනාත්මක ලිපියක්. අපි ප්‍රශ්නය වෙනත් විධියකට අහමු. දෙරණට තර්ජනය කිරීමට අවශ්‍ය ජනාධිපතිට ද අගමැතිට ද මෛත්‍රිපාලට ද රනිල් ට ද? ඒකට ලැබෙන පිළිතුර නම් ඉතා පැහැදිලියි. ඒ කාටවත් තර්ජනය කරන්න ඕන කමක් ඇත්තෙත් නැහැ, ජනමාධ්‍ය නිදහසට ගරු කරන මෙකල එකල මෙන් නොව සුදු වෑන් එවන්නෙත් නැහැ. අපි තවත් ප්‍රශ්නයක් අහමු. පාර්ලිමේන්තුවේ දි ජනමාධ්‍යවලට තර්ජනය කෙළේ කවු ද? ඒකටත් පිළිතුර කවුරුත් නැහැ. එහෙනම් ජනමාධ්‍යවේදින්ගෙ නම් කිවුවෙ කවු ද? පිළිතුර වෙන්නෙ නම් කියන එක තර්ජනයක් ද යනුවෙන් ප්‍රතිප්‍රශ්නයක් ඇසීමයි.

තර්ජනාත්මක ලිපිය එවුවෙ කාගෙ ඕනකමට ද කියන එක මට නම් පැහැදිලියි. එහෙත් නිශ්චිත සාක්‍ෂි නැතිව ඒක ප්‍රසිද්ධියෙ කියන්න බැහැ. මට කාවක්වත් සුදන කරන්න ඕන නැහැ. ඒත් මේ වැඩෙන් එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනකු මරා ගැනීමේ වුවමනාව තියෙනවා. මේ බොරු ප්‍රජාතන්්‍රවාදය, ජනමාධ්‍ය නිදහස ආදිය නියම ස්වරූපයෙන් ම එළියට එන්න ළඟයි. ආණ්ඩුවට අමරු වෙන කොට හැරිසන්ලගෙ රාජිතලගෙ විජිතමුණිලගෙ කටවල් පමණක් මදි වෙනවා. ඒ කටවල්වලට තව තවත් ඉඩ දෙන අතර ජනමාධ්‍යවල කටවල් බඳින්න සිද්ධ වෙනවා. ව්‍යවස්ථා කතාව අද පටන් ගන්නවා. කමිටු වාර්තා හය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. එහි අවසන් ප්‍රතිඵලය සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි විශේෂ තත්වය නැතිකර දෙමළ ජාතිවාදයට කප්පන් දීමයි. ඒකාබද්ධ විපක්‍ෂය මේකට මොනවට හවුල් වෙනව ද? දෙරණට තර්ජනය කරන්නෙ මූලිකව ම ව්‍යවස්ථාවට විරුද්ධව නැගෙන මතය “නීත්‍යානුකුල ව හා ප්‍රජාතන්ත්‍රවාදී ව” පාගා දැමීමට.

නලින් ද සිල්වා
2016 නොවැම්බර් 19



උපුටා ගැනීම : http://ift.tt/2eUbhSP
Share on Google Plus

About විගස පුවත් 24x7

0 comments:

Post a Comment

වසා දමන්න